අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා කියා සිටියේ අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් ලබාදුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් පවතින නමුත් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමක් සිදු කරනු ලැබීම හේතුවෙන් එසේ කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නොමැති බවත්  ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කිරීමට හැකි බවද ඔහු සඳහන් කර සිටිනවා.

මේ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවිය හැකි අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාට රන්ජන් රාමනායක මහතාගෙන් හිස්වන අසුන හිමිවීමට අවස්ථාවක් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්