ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු එක්වූ විශේෂ මාධ්‍ය හමුවක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විණි.

එහිදි අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා මහතා කියා සිටියේ අද (19) දිනය “සම්මුතියේ දිනය” ලෙස නම් කරන බවයි.

“විශේෂයෙන්ම ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට පත් වන වෙලාවක් මේක බොහෝ වෙලාවට දියවන්නාවෙන් වටවුණු පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත් වාසීන්ට තේරුම් ගන්න බැරි වුණා දූපතෙන් එළියට ජනතාවගේ හඬ. ඔවුන් ඉල්ලා සිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා, මිනිස්සු වෙනුවෙන් එකතු වෙන්න කියලා. අන්න ඒ එකතුවයි මේ වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි, මම කෘතඥ වෙනවා විපක්ෂ නායක තුමාට අද  දවස වෙනකල් පක්ෂයක් විදිහට තීන්දු අරගෙන තිබුණා එතුමත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. මම එතුමාට ස්තූතිවන්ත වෙනවා එතුමා විශාල කැපකිරීමක් කළා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. මට ඒ පිළිබඳව කියන්න කිසිදු චකිතයක් නෑ. මීට පස්සේ අපි රටින් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන්  මේ ලබාදුන් පරමාදර්ශය ජාතීන්, පක්ෂ ලෙස බෙදෙන නැතිව රටේ පරමාදර්ශය බවට පත්කරගන්න.  එහෙම නැතිව එක පක්ෂයකට, එක නායකයෙකුට මේ අර්බුදයෙන් රට ගොඩනගන්න බෑ. අන්න ඒ යථාර්ථයටයි අපි හිස නැමුවේ. මේ රටේ ප්‍රශ්න වලින් මිනිස්සු මුදවා ගන්න ඕනි කියල අධිෂ්ඨානය අද දවස ඇති කර ගමු කියල මම යෝජනා කරනවා. අද නාමයෝජනා  භාර දුන් අයටත් අපි ආරාධනා කරනවා කණ්ඩායමයක්  ලෙස ජනතාවගේ හැඟීම් තේරුම්ගෙන සම්මුතිය යථාවත් කරමු.” 

යනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

එමෙන්ම  ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් තමන් එම තීරණය ගත් බව කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් සඳහන් කර සිටියේ,

“මේ කැප කිරීම අපි කළේ පොදු ජනයා වෙනුවෙන්. පෞද්ගලික දේශපාලන ජයග්‍රහණ රටේ ජයග්‍රහණය බවට පත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ අතිමහත් බහුතරයක් අද අපත් සමග එකතු වෙලා තිබෙනවා මේ නැවුම්, නිර්මාණශීලී අලුත් ගමනට එකතු වෙන්න. මේ ගමනේ ඒකායන අරමුණ රට ශක්තිමත් කර, රට ආරක්ෂා කර පොදු ජනයා ජීවත් කරවීම කරවීම. මේ මොහොතේ රට වැටී තිබෙන ආර්ථික සමාජයීය අර්බුදය අර්බුදයෙන් ගොඩ ඒම අභියෝගාත්මක කාර්යභාරයක්, නමුත්  අමාරුවෙන් හෝ ගඩොලින් ගඩොල වැලි කැටෙන් වැලිකැටය රට ගොඩනැගීමේ ප්‍රශස්ත සැලැස්ම අපි සතුව තිබෙනවා, ක්‍රියාත්මක කිරීමේ කුසලතාවෙන් හෙබි ප්‍රබුද්ධ කණ්ඩායම අපි සතු තියෙනවා. දැන් අප කළ යුතුව තිබෙන්නේ නිර්මාණශීලී සැලසුම් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමයි.”

යනුවෙනුයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්