නීත්‍යානුකූල මාර්ග ඔස්සේ සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් මෙරටට එවූ පුද්ගලයින්ට පමණක් නැවත විදේශ රැකියා සඳහා යාමට අවසර ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කම්කරු අමාත්‍යාංශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටී.

ඉහත කරුණු සලකා බලා ඔවුන්ට යළි විදේශගත වීමට හැකි වන පරිදි කඩිනමින් නීති සම්පාදනය කරන බව ඔහු පවසයි.

ඊශ්‍රායලයේ ගෘහස්ත හෙද රැකියා සඳහා තරුණියන් පිරිසකට කම්කරු අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා අතින් ගුවන් ටිකට්පත් තිහක් ප්‍රදානය කෙරිණි.

විදේශගතව සේවයේ යෙදී සිටියදී නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවූ පුද්ගලයින්ට විදුලි වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට ද අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම ගුවන් තොටුපළ තීරුබදු රහිත වෙළෙඳසල්වල භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදෙන බදු සහන ද ඉහළ නංවන බවත් නිවාස ඉදිකිරීම සහ ස්වයං රැකියා ආරම්භ කිරීම ඇතුළු සහන භුක්ති විඳීමට ඔවුන්ට අවසර ලබා දෙන බවත් ඔහු කියා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්