මහින්ද රාජපක්ෂට තමන්ගේ සල්ලි ගැන වගේ වගක් නැත. සල්ලි දමා ගැනීමට පොකට්ටුවක්, පසුම්බියක්, පාවිච්චි කළා නම් ඒ ආසන්න වශයෙන් අගමැති වන තෙක් පමණය. ඉහළ තනතුරුවලට නගින්නට නගින්නට ඒවා බලා ගැනීමට ලේකම්වරු නිලධාරීන් අපමණ වූහ.

මහ වැඩ පටන් ගන්නට මහින්දට සල්ලි ඕනේ කළේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටකට බැස වැලේ වැල් නැතිව සිටිද්දී මහින්ද කොළඹ සිට හම්බන්තොට හරහා කතරගමට පාද යාත්‍රාවක් සංවිධානය කළේ සල්ලි ගැන පිච්චියක් තරම්වත් හිතන්නේ නැතිවය. එදාට ඕනෑ සල්ලි එදිනෙදාට ලැබුනේය. කෑම බීම කොහොම කොහොම හරි ලැබුණේය. පාද යාත්‍රාවේ යන අයට කන්න දෙන්න සල්ලි නැතිවිට පාද යාත්‍රාවට සාර විට විකුණා කීයක් හෝ සොයාගෙන සිටි සාරවිටකාරයා ගාල්ලේදී මහින්ද අතේ රුපියල් 500ක් තැබුවේය. එහෙත් ඒ රුපියල් පන්සියය ආපසු දෙන්නට නැත. පාද යාත්‍රාව කතරගමින් හමාර වී මාස ගණනකට පසු ගෙදර යන්නේ කොහොමදැයි පාද යාත්‍රාව ගොඩනැගීමට කැප වූ කුසල් පෙරේරා සමග මහින්ද කතා කරගත්තේය. ඒ වනවිට අද මහත් ආන්දෝලනයක් පැවැති මේ බැංකු ගිණුම ආරම්භ කර තිබිණි.

1977 ඡන්දයෙන් පරාද වූ මහින්ද රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ 1989 මහ මැතිවරණයෙන්ය. මහින්ද 1977 දී පරාජය වී ගෙදර ගිය පාර්ලිමේන්තුව මෙන් නොව ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සියලු පහසුකම්වලින් අනූන නූතන එකක් විය. ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේම ලංකා බැංකු ශාඛාවක්ද පිහිටුවා තිබිණ. 1989 පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ තමන්ගේ වැටුප, තෙල් ආදියට ලැබෙන දීමනාවද, පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් දෙන දීමනාවද. බැර කිරීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කළේය.

එදා සිට මන්ත්‍රීවරයකු වශයෙන් ලැබෙන සියලු දීමනා තැන්පත් වූයේ මේ ගිණුමේය. පාද යාත්‍රාව නිමවා මාස ගණනකට පසු ගෙදර යද්දී ගෙන යාමට දෙයක් මිලට ගන්නට මහින්දට වුවමනා විය. එහෙත් ඒ වන විටත් ගෙදර යමක් ගෙන යාමට තරම් මුදලක් මහින්දගේ බැංකු ගිණුමේ තිබුණේ නැත. නීතිඥයකු හැටියට හම්බු කළ සල්ලි ගෙදර ගෙනියනවාට වඩා මගට වියදම් කිරීම මහින්දගේ සිරිතය. මහින්ද කළේ තම හිතවතකුගෙන් මුදලක් ඉල්ලාගෙන එයින් ගෙදරට බඩු ටිකක් අරගෙන යාම බව එතැන සිටි කුසල් පෙරේරා කියයි.

1989 මහින්ද වාසුදේවත් සමග ජිනීවා ගියේය. ඒ ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු කීමටය.

‘අපිට එහෙදි වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. දවසටම කන්නේ සැන්ඩ්විච් එකයි. හොඳට කාලා පුරුදු මහින්දට සැන්ඩ්විච් එක හරියට අලියෙකුට අබ ඇටයක් වාගේය.

ඒ කාලේ ජිනීවාවල සල්ලි, නවාතැන් නැතිව දුක් විඳි හැටි වාසුදේව මතක් කරයි. කෙසේ වෙතත් ජිනීවාවලදී මුණ ගැහෙන ශ්‍රී ලාංකිකයෝ මහින්දගෙත් වාසුගෙත් අතට මුදල් දෙති. මහින්ද පළමුව තමන්ට ලැබෙන මුදලින් දෙදෙනාම සමග කෑමට බීමට වියදම් කරයි. මහින්දගේ සල්ලි ඉවර වූ පසු හැරෙන්නේ වාසුදේව දෙසටය.

දැං සහෝදරයාගේ සල්ලිවලින් කමු.

එහෙත් වාසු​ එහෙම කරන්නේ නෑ. වාසු එයින් කොටසක් පක්ෂයට වෙන් කරයි. තවත් කොටසක් තමන්ටය. ඉතිරිය මහින්ද සමග කෑමටය. මහින්ද ඉතිරි නොකළාට කෑම බීම ගමන් බිමන් විරෝධතා රැලිවලට ලැබීම්වලින් අඩුවක් නොවූයේය. රටේ ජනාධිපති වන තෙක්ම දුර බැහැර ගියොත් මහින්ද හෝටල්වල නතර වන්නේ නැත. මහින්ද නවතින්න තෝරාගන්නේ යාළුමිත්‍රයන්ගේ ගෙවල්ය. බණ්ඩාරනායකලා වේවා ජයවර්ධනලා වේවා නුවර ගියොත් අඩුම තරමින් ‘ක්වින්ස් හෝටලයේ’ නතර වුවත් මහින්ද නවතින්නේ මොන්ටි ගොපල්ලවගේ ගෙදරය. එවිට කෑම බීම් ඉඳුම් හිටුම් ඇතැම් විට ගමන් වියදම් පවා නවතින ගෙදර යාළුවා දරයි.

“හෝටලයක නතර වුණාම ව​ගේම නෑදෑ යාළු ගෙදරක නතර වුණාම ඒ නතර වෙන කෙනාගේ සේරම පවුල්වල අය යාළු වෙනවා.” ඒ අනුව දේශපාලන වාසියක්ද මහින්ද හිමිකර ගනී.

පෙරළා මහින්දටද මිත්‍රයන් වෙනුවෙන් එසේ සලකන්නට වන්නේය. එක්දහස් නවසිය අසූව දශකයේ භීෂණය රජ වූ සමයේ සිය ගණන් තරුණයෝ රැකවරණයද කෑම බීමද ලැබුවේ මහින්දගේ තංගල්ලේ කාල්ටන් නිවසෙනි.

කුඹුරුවලින් ලැබෙන වීයෙන්ද වත්ත පිටියෙන් ලැබෙන පොල්වලින්ද උසාවි ගිහින් හම්බ කරන දෙයින්ද ඒ සිය ගණන් තරුණයන්ට දිනපතා සංග්‍රහ කෙරිණි.

ඒ වූ මහින්ද 89 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ආරම්භ කළ ගිණුම 1994 කම්කරු ඇමැති ලෙසද ඉන්පසු ධීවර ඇමැති ලෙසද විපක්ෂ නායකවරයා ලෙසද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැති ලෙසද ඉන්පසු ජනාධිපති ලෙස අට වසරක්ද, විශ්‍රාමික ජනාධිපති ලෙස ලැබුණු වැටුපද පාර්ලිමේන්තු පැමිණීමේ දීමනා ඉන්ධන දීමනා ආදිය වැටෙන්නට සලසමින් පවත්වාගෙන ආවේය.

2015 ජනවාරි අටදා ජනාධිපතිවරණයෙන් පරාද වී ගෙදර ගිය මහින්ද ඒ වසරේම අගෝස්තුවේ යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය. හිටපු කථානායකවරයා වූ වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුතා මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පත්ව ආවේ මේ කාලයේය. මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත දේශපාලන නායකයකුගේ පුද්ගලික ලේකම් ලෙස උදිත ලොකු බණ්ඩාර වැනි ආධුනිකයකු පැමිණීම තවත් පුදුමයක් විය. මහින්ද, උදිත ලොකු බණ්ඩාර තම පුද්ගලික ලේකම් කරගැනීම ගැන වඩාත් පුදුමයට පත්වූයේ වි.ජ.මු. ලොකු බණ්ඩාරයන්ය.

‘අපේ උදිතයා මොනවාද ඔතන කරන්නේ.’

ඒ දිනවල මහින්දගේ හිතවතුන්ගෙන් වි.ජ.මු. අසයි. ඒ මහින්ද ළඟ රස්සාවට ආ උදිත අප්පුච්චිට දුරකතන ඇමැතුමක්වත් දී විස්තර කීම හෝ උපදෙසක් නොපැතීම නිසාය.

උදිතත් වි.ජ.මු. ලොකු බණ්ඩාරත් තෙලුයි වතුරයි මෙනි.

විජමු ලොකු බණ්ඩාරයන් මෙලක සිටි මහා පඬිරුවනකි. හෙළ බස හෙළ සිරිත් විරිත් හා දෑ නැගුමත් සිපිරි පුරාණ පඬිවරුන් කෙබඳුදැයි හඳුනාගන්නට අපට සිටි නාම රූප කායකි. ‘ආයුබෝවන්’ කියා දුරකථනයෙන් පිළිවදන් දීමට හුරු කළේ ඔහුය. සංස්කෘතික හා දේශීය වෛද්‍ය ඇමැතිව සිටි කාලයේ හෙළයට කොළකැඳ කෝප්පයක් උදේට පානය කිරීමට පුරුදු කළේ ඔහුය. අද ගමක්, හන්දියක්, නගරයක්, පාරක් ගානේ ඇති කොළ කැඳ කඩවලින් ජීවනෝපාය සපයා ගන්නෝත් ජීන්ස් ඇඳන් ව්‍යායාමයට ගිහින් එන ගමන් බයියන්ට හිනාවෙවී හකුරු කෑල්ලක් එක්ක කොළ කැඳ කෝප්පයක් බොන ටොයියොත් මෙබඳු සුව පානයක් පුරුදු කළ වි.ජමුට පින් දිය යුතුය. මක් නිසාද යත් කොළ කැඳ පානය ජාතික සිරිතක් කරන්නට යෝජනා කළදා ඉඳන් විජමු දැවැන්ත අපහාසයකට උපහාසයකට මුහුණ දුන් බැවිනි. අන්තිමට ඔහු හැඳින්වූයේ කොළකැඳයා නමිනි.

වි.ජමු සංස්කෘතික ඇමැති සමයේ ධම්මපදය සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් එකම පොතක පරිවර්තනය කරවා පළ ක​​ළේය. මහා භාරතය නම් ග්‍රන්ථය සිංහලට පෙරථවේය. පාලි සංස්කෘතියට පෙම් බැන්දේය. එහෙත් ඔක්ස්පර්ඩ් උපාධිධාරී විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන හිමිවරුන්ට වඩා බුදුන්ගේ අනුගාමික විය. වි.ජමු කථානායකකමට තෝරා ගන්නා පාර්ලිමේන්තු ඡන්දය වේලාවේ මන්ත්‍රී අසුනේ සිටියේ ධ්‍යානයකට සමවැදෙමිනි. අන්තිම කාලයේ ධර්මයට අනුව දිවිපෙවෙත ගත කළ මේ සංස්කෘතික පුරුෂයා ​කොරෝනාවෙන් හුස්ම ඇදීමට අපහසු වුවත් ඔක්සිජන් යන්ත්‍රය මුහුණට සවි කර ගත්තේ නැතිව තමා භාවනාවෙන් හුරුකරගත් ආශ්වාස චාරිත්‍ර අනුව අන්තිම හුස්ම වාතලයට මුසු කළේය.

ඒ වූ වි.ජමුගේ පුතාව ඡන්දයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ බෞද්ධ යන්න ලියා තිබුණේද වැරදියට බව නාමයෝජනා මණ්ඩලයේ සිටි අය කීහ. ලංකාවේ ඉන්ටනැෂනල් ස්කූල් ගිය අයෙකි උදිත. දිනක් මාධ්‍යවේදීන් මහින්දගෙන් ඈත් කරන්නට හදන විට ‘‘මේකා මෝඩයා’’ යැයි මහින්ද තරවටු කළේ උදිතට ගැළපෙන නම තෝරාගත් ආකාරයෙනි.

ජනවාරි 13දා පාර්ලිමේන්තුවෙන් ලැබුණු වැටුප භාරගත් බවට අදාළ පෝරමය මහින්ද රාජපක්ෂ අගමැති හමුවට ලේකම්වරයකු ගෙනාවේය.

‘මේකේ දැන් හොඳ මුදලක් ඉතිරිව ඇති.’

අගමැති නිකමට කීවෙන් ලේකම්වරයා වහා පාර්ලිමේන්තුවේ තිබෙන බැංකු ශාඛාවෙන් අගමැතිවරයාගේ පොතේ කීයක් තිබේදැයි විමසා බැලුවේය.

‘අගමැතිතුමාගේ පොතේ අටලක්ෂයක් තියෙනවා.’

බැංකු ශාඛාවෙන් කියවිණි.

‘ලක්ෂ අටද තියෙන්නේ මෙච්චර කාලයක් තිස්සේ.’

අගමැතිවරයා තම පුදුමය පළ කළෙන් ලේකම්වරු බැංකු ගිණුමේ මුදල් ගනුදෙනු වූ ආකාරය ගැන විමසිලිමත් වූහ. ඒ අනුව ඔවුනට දැන ගැනීමට ලැබුණේ 2017 වසරේ මෙම ගිණුමට ඩෙබිට් කාඩ්පතක් නිකුත් කර ඇති අතර මාසෙට කිහිපවරක් රුපියල් ලක්ෂය බැගින් මුදල් ගෙන ඇති බවය. එමතු නොව හිල්ටන්, ටාජ් ඇතුළු සුපිරි හෝටල්වලින්ද ඔඩෙල් ඇතුළු ඇඟලුම් ආයතනවලින්ද ඇති තරම් කෑම බීම ඇඳුම් පැලඳුම් මිලට ගෙන ඇති බවයි.

‘මේ කාඩ් එක කාළඟද තියෙන්නේ?’

අගමැති පවුලේ කිසිවෙක් ළඟ කාඩ්පතක් නොවිණ. ලියකියවිලි භාරව ඉන්නේ ලේකම්වරු අතද එබන්දක් නොවීය. අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක ප්‍රධානි මාලක උදිතට කතා කළේය.

සර්ගේ බෑන්ක් කාඩ් එක ඔයා ළඟද?

ඔව් ඒක මා ළඟ.

බැංකුවෙන් ඇද්ද මුදල්වලට කුමක් වූයේ දැයි විමසූ විට උදිත දුන්නේ වි.ජ.මුගේ පුතා නොව අන්දරේගේ පුතා දුන් උත්තරයය.

‘‘විගණනය කරනකොට ප්‍රශ්නයක් වෙන නිසා මම ඒ මුදල ඇදලා වෙනම ඉන්වෙස්මන්ට් කළා. ලක්ෂ 160ක් විතර එතන ඇති. ඉතුරු මිලියන කිහිපයක් හෝටල්වලට ගෙවලා තියෙනවා. අගමැතිතුමා වෙනුවෙන් මම එයාගේ හිතවතුන්ට විනෝද වෙන්න වියදම් කළා.

පසුදා උදිත ලක්ෂ විසිපහක්, මිලියන දෙකහමාරක් ගෙනැවිත් අගමැති මැදුරට භාර දුන්නේය.

උදිත වහා නීතිය හමුවට පැමිණවිය යුතු බව කාගේත් අදහස විය.

‘එක්දහස් නවසිය හැත්තෑව හැත්තෑහත කාලෙත් මගේ පඩියට විදපු කතාවක් තියෙනවා.අග්‍රාමාත්‍යවරයා සිනාසෙමින් අතීත පුවත විස්තර කළේය. දශක තුනකට කලින් තම බැංකුව ගිණුමෙන් මුදල් ඇද්ද තැනැත්තාගේ නියම නම වෙනුවට මහින්ද භාවිත කරන්නේ වාසගමේ අකරු දෙකක් පමණි.ඒ දවසක් හෝ මිත්‍රකම් පැවැත් වූ එකාට අපහාස වෙතැයි සිතෙන නිසාය.

‘‘ඒ කාලේ මම මන්ත්‍රි. මගේ කාර් එකේ තමයි පඩිය බැංකුවෙන් ගන්න චෙක්පොත තිබුණේ. මගේ කාර් එකේ නිතරම ගියේ විජේයි,විලී ගමගේයි. මම කොළඹ ඉඳලා ගෙදර යන්නේත් එයායි, විලීයි එක්ක වි​ෙජ් මගේ ලේකම් වාගේ හිටියේ. මම හිස් අතින් ගෙදර යනවා හැමදාම.දවසක් නංගි මට දොස් කිව්වා අම්මා එක්ක. අයියා මන්ත්‍රිවෙලත් ගෙදර එන්නේ හිස් අතින්. ඒකට විජේ,නිමල් අයියගෙ කාර් එකෙන් විජේ ගේ ළඟින් බහින්නේ බඩු මලු පුරෝලා අතට අරගෙන.

කාලය ගෙවී ගියේය. මහින්ද තවත් වතාවක කාරයට ටයර් හතරක් දමා වැය වූ මුදලට තම බැංකු ගිණුමට චෙක් පතක් ටයර් කඩයට දුන්නේය. මහින්ද කාරය අරන් ගෙදර ගියේය. එහෙත් මහින්ද දුන් චෙක්පත අගරුව ටයර් ක​ඩේට ආවේය. ටයර් කඩ හිමියා මහින්දට අගරු චෙක්පත පෑවේය.මහින්ද වහා බැංකුවට ගොස් චෙක් පත්‍රය අගරුවීමට හේතු විමසීය.එසේ වී ඇත්තේ චෙක් ඉදිරිපත් කර ගිණුමෙන් මුදල් අරගෙන තිබෙන බැවින් ටයර්වලට ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොතිබීම නිසා බව බැංකුව කීවේය.

‘මම පැමිණිල්ලක් දාන්න සී.අයි.ඩී. එකට යන්න ගියා විජේ එක්ක.එයා මගදි මට වැඳලා කිව්වා අනේ මහින්ද මමයි සල්ලි ගත්තේ කියලා. මම තරහට ඌව කාරකෙන් බස්සලා ගෙදර ගියා. මම හිස් අතින් යනකොට අර යකා බඩු මලු අරගෙන ගිහින් තියෙන්නේ මගේ සල්ලිවලින්. ඒ හින්දා ඔන්න ඕකත් අත ඇරලා දාන්න.සී.අයි.ඩී. ගිහින් වැඩක් නෑ.’’

මහින්ද දැනටමත් තම මුදල අත හැරදමා ඇත. එහෙත් තවමත් සමහරු එය අල්ලාගෙනය. ‘මහින්ද පඩිය අතට ගත්තේ නැතිව ජීවත් වුණේ කොහොමද?’

එය සැබෑ ප්‍රශ්නයකි.

එය මේ කාගෙනුත් ඇසිය යුතුය.විපක්ෂ නායකතුමා සජිත්ගෙන්, රනිල් වික්‍රමසිංහගෙන් ඇසිය යුතුය. රතු සහෝදරවරුන්ගෙන් විශේෂයෙන් ඇසිය යුතුය.මක් නිසාද යත් ඔවුන් තම පඩිය ගන්නේ නැතුව පක්ෂයට දෙන බැවිනි. රෝහණ විජේවීර බොරුවට කුලීකරුවකු ලෙස වෙස් වළාගෙන සිටියා මිස කවදාවත් කුලියක් මලියක්වත් කර හම්බු කළේ නැත. ඒ සහෝදරයා බිරිඳත්, දරුවන් තිදෙනෙක්,සේවකයන් තිදෙනෙක් සමග ඒ කාලයේ හැටියට හොඳ නිවසක ජීවත් වූයේ කොහොම දැයි ඇසීමද වැදගත්ය.දේශපාලනය හැර වෙන රස්සාවකුත් නොකර පඩිත් නොගෙන කා බී ගෙවල් තනා දරුවන් රට යවා උගන්වා ජයට ඇඳ පැලඳ ජීවත් වන්නේ කෙසේද? කුරුල්ලෝ වපුරන්නේවත්, කපන්නේවත් පා ගන්නේවත් නැතිව බඩ පුරවා ගනිති.බයිබලයේද කියැවෙනවා නොවැ.

ඒ ප්‍රශ්නය ඇසුවාට පසුව ඔවුන්ද මහින්දගේ ගිණුමේ කතාව අතහරිනු ඇත.

මිස්සක සෙනෙවිරත්න
(Aruna)

මෙන්න බලන්න තවත් පුවත්