පෝෂක නොමැතිව දරුවන් සහ ගැබිණි මව්වරුන් භයානක අනතුරක

අපි දන්නවා රටේ ආර්ථිකය එතරම් සුබදායික මට්ටමක නොවෙයි දැන් තිබෙන්නේ. නමුත් මේ තත්ත්වය මෙතරම් භයානක ආකාරයෙන් රටේ අනාගතයට බලපාවි යැයි සිතුවේ නැහැ. නමුත් අද වන විට ආර්ථික කඩා වැටීම ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් දැඩි අනතුරක හෙලීමට තරම් ප්‍රබල වී තිබෙනවා. වර්තමානයේ පවතින තත්වය යටතේ පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමට පවුලක දිනක වියදම රුපියල් 700 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ මීට පෙර වසර වල එනම් 2018 – 2019 වසරවල මෙම අගය පැවතියේ රුපියල් හාරසිය පනස් හතරක (454) අගයක් බවයි. මේ අතර ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ අඩු බර දරුවන්ගේ පෝෂණය නඟාසිටුවීම සඳහා රජය විසින් ලබාදුන් ත්‍රිපෝෂ වැඩසටහනද මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ගැටලුව දැඩි ලෙස ගර්භනී මව්වරුන්ට බලපා තිබෙනවා.

ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවීමට හේතු වූයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු සහ සෝයා නොමැති වීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසික ත්‍රිපෝෂ ඉල්ලුම ග්‍රෑම් 750 ක පැකට් ලක්ෂ 15 ත් 16ත් අතර වුවද මාස කිහිපයක සිිට ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු නතර කර තිබෙනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට නම් මාසයකට බඩ් ඉරිඟු මෙට්‍රික් ටොන් 1100 සහ සොයා මෙට්‍රික් ටොන් 550ක් ක් අවශ්‍ය බවයි අදාළ බලධාරීන් පවසන්නේ.

එවැනි තත්ත්වයක් හමුවේ ඉන්දීය ණය ආධාර යටතේ බඩ ඉරිඟු සහ මාස දෙකකට ප්‍රමාණවත් පරිදි මේ රටට ලැබීමට නියමිත අතර එම තොගය ලද වහාම ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරන බවයි එහි නිලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර මාස 6ත් අවුරුදු එක එකහමාරක් අතර දරුවන්ට රජයෙන් ලබා දුන් එම් එම් එන් ක්ෂුද්‍ර පෝෂකය ද මාස තුනක පමණ කාලයක සිට ලබා නොදෙන බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. ඒ වගේම වයස අවුරුදු පහට අඩු උග්‍ර අඩු බර දරුවන්ට දෙන බි.පී හන්ඩ්‍රඩ් විස්කෝතුව ද මාස හතරක පමණ සිට නොමැති බවයි එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ. එමෙන්ම ගර්භනී මව්වරුන්ට ලබාදෙන යකඩ පෙති සහ විටමින් වර්ග මේ වන විට ලබා දිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

වර්තමානයේ ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම හමුවේ රජයෙන් ලබා දෙන ත්‍රිපෝෂ, ක්ෂුද්‍ර පෝෂක සහ විටමින් නොමැති තත්ත්වයක් තුළ ගර්භනී මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් සහ දරුවන් පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව වයඹ විශ්ව විද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා පැහැදිලි කළා.

මෙම තත්ත්වය දැඩි ලෙස රටේ අනාගතයට බලපාන අතර මේ පිළිබඳව ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් සිටින දෙමව්පියන් දැඩි සැලකිල්ලක් දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්