කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව  පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගයේ වැඩි වීමක් ද බලාපොරොත්තු වන බවයි.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්