ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අද (3) නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසි වාරය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරි පත් වුණා. අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා.

මේ සභාව ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. සිංහල හෝ වේවා, දමිල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා වෙනත් ජන කොටසක් හෝ වේවා ඔබ මෙතනට රැස් වෙන්නේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.

පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා පත් කරගත්තේ විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතාව විසින්. ඒ කුමන ජන කොටසක් නියෝජනය කළත් අප සියල්ලම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි.

අද මම ඔබ අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජනාධිපති ලෙසයි.

අපේ රට විවිධ සංස්කෘතින්ට අයත්, විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන ජනතාවකගෙන් සමන්විතයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යෑමට, ආගම් ඇදහීමට සහ තම මව් භාෂාව භාවිත කිරීමට සැමට ඇති අයිතිය ඔබේ ජනාධිපතිවරයා ලෙස මම ආරක්ෂා කරනවා.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමටත්, අනෙකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මා බැඳී සිටිනවා.

අපට ආගමික, සංස්කෘතින, සමාජයීය වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් ද ප්‍රෞඪ අතීත උරුමයක් දායාද වී තියෙනවා. එය විවිධ සංස්කෘතීන්වලින් පෝෂණය වි තියෙනවා. සතරවරම් දෙවිවරු පිළිබඳ සංකල්ප, බුදු දහම හා සම්බන්ධ වෙන්නේ අන්න එහෙමයි. මේ අතීත උරුමයන් පදනම් කරගනිමින් අනාගතය ගොඩනැංවීමේ වගකිම අද අපට පැවරී තියෙනවා.

මම බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට මම තීරණය කළා. ඒ අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීම රට වෙනුවෙන් මා කළයුතු යුතුකමක් සේ මා සැළකු නිසයි.

අද අප මුහුණ දෙන්නේ නුතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතල ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා. ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතුවී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින ගරු මන්ත්‍රීවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩ නැගීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.

රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහාණියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි. මුළු මහත් ජාතියමයි.

ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වන ලෙස මම යළිත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ඔබ සැමට මිත්‍රත්වයේ හස්තය ගෞරවයෙන් දිගු කරනවා. අතීතය පසෙකලා, රට වෙනුවෙන් එකට එක්වෙන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පවත්වන සාකච්ඡා මම දැනටමත් ආරම්භ කර තියෙනවා.

මගේ වැඩපිළිවෙල විමසා බලා, ඉන්පසුව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට එකඟත්වය පළ කරන බව යම් යම් පාර්ශ්වයන් ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳවත් මම අදහසක් පළ කරන්නට කැමතියි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයක තනිමතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නොවෙයි. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළ සියළු පර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වන ආණ්ඩුවක්. අප හැම දෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. රට වෙනුවෙන් අප සියළු දෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්.

කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක වැදගත්කම මම මේ සභාවට යළි යළිත් අවධාරණය කරන්නට කැමැතියි.

ආර්ථිකය කඩා වැටීම නිසා අපේ රට දේශපාලන අර්බුදයට ගොදුරු වුණා. මේ අයුරින් අපේ ආර්ථිකය කඩා වැටුනේ ඇයි?

අපේ ආර්ථික ක්‍රමවේදයන් කෙසේ විය යුතු දැයි යන්න ගැන අපි දැන් දශක දෙක තුනක් තිස්සේ වාද විවාද කර ගන්නවා. 1977 දි අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත් කාලයට ගැළපෙන ලෙස එය නවිකරණය කර ගන්නට අප අසමත් වුණා. ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරඟකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනයක නිතර වුණා. යුක්රේන යුද්ධය, කොවිඩ් වසංගතය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් කඩා වැටීම වැනි ජාත්‍යන්තරයේ සිදුවු අවාසිදායක ආර්ථික සාධක අපේ අර්බුදය තවත් සංකීර්ණ තත්ත්වයකට ඇද දැම්මා.

මේ ප්‍රධාන හේතු සාධක නිසා අපේ රට පහළටම ඇද වැටුණා. ජනතාව අති මහත් දුෂ්කරතාවයන්ට ලක්වුණා. දැන් අපි වැටුණු තැනින් නැවත නැගිටීමේ ක්‍රියාවලිය ආරම්භ කරලයි තියෙන්නේ.

මේ වන විට විදුලි කප්පාදුවා අවම කර ගැනීමට අපට හැකි වී තියෙනවා. වගා කටයුතු සඳහා ඉදිරියේදී අවශ්‍ය වන පොහොර ගෙන්වා ගැනීමේ වැඩ කටයුතු දැන් සිදු කෙරෙමින් පවතිනවා. ගෑස් හිඟය සම්පුර්ණයෙන්ම පාහේ නිම වෙමින් පවතිනවා. පෝලිම්වල රස්තියාදු නොවී සාමාන්‍ය පරිදි ගෑස් ලබා ගැනීමට තව ටික දිනකින් හැමෝටම පුළුවන් වෙනවා. ආහාර හිඟයක් ඇති නොවීම සඳහා ආරක්ෂිත පියවර ගෙන තියෙනවා. රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම ආරම්භ කර තියෙනවා. පාසැල් යළි විවෘත කිරීමට කටයුතු කර තියෙනවා. කර්මාන්ත සහ අපනයන අංශයන්ට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

යළි නැගී සිටිමේ උත්සාහයේදී අපේ අසල්වැසි ඉන්දියාව ලබා දුන් සහාය පිළිබඳව මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමැතියි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රධාන ඉන්දීය රජය අපට ලබා දුන්නේ ජිවන හුස්මත්. මම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෝදි අගමැතිතුමාටත්, ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් ස්තුතිය පුද කර සිටිනවා.

අද දවසේ අප ඉදිරියේ ඇති කෙටි කාලීන ප්‍රධාන ගැටලුව වෙන්නේ ඉන්ධන හිඟයයි. ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය අපි අවසන් කළයුතුය. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් අප ආරම්භ කරනවා. මෙහිදි ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අවසන්වන තුරු මේ අපහසුකම් රට වෙනුවෙන් අපි දරා ගනිමු.

ආර්ථික අර්බුදය නිසා අපි හැමෝම විවිධාකාර දුෂ්කරතා අත්විඳිනවා. පීඩාවන්ට ලක් වෙනවා. දුක් විදිනවා, කරදර විදිනවා. මේ දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙනයාමට ඔබ සියළු දෙනාගේම සහාය ඇතිව මම කටයුතු කරනවා.

මේ දුෂ්කරතාවයන්ගෙන් මිදීමට අප දීර්ඝ කාලින විසඳුම් කරා යායුතුයි. නැවත කිසිදිනෙක මෙවැනි ආර්ථික අර්බුදයක් අපේ රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතුය. ආර්ථිකය නවීකරණය කළයුතුයි. ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර, තරඟකාරී අපනයන ආර්ථිකයක් කරා පරිවර්ථනය කළයුතුයි. ඒ සදහා අවශ්‍ය වාර්ථා, සැළසුම්, නීති – රීති, අණ – පණත් සහ වැඩසටහන් දැන් අප සකස් කර ගෙන යනවා.

අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැළසුම් රාමුවයි. මේ රාමුව තුළ අප ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන එන අන්තර්කාලීන අයවැය සහ 2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා.

යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබදඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යලිත් ඉදිරියට ගෙන යනවා. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැළැස්ම නොබො දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන්පසුව අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමග එකඟතාවන්ට එළඹෙනවා.

අවසානයේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති-රීති හා වැඩසහටන් සම්පාදනය කරනවා. අපේ අතීත ආර්ථික උරුමය විදේශ වෙළඳාමයි. අතීතයේ ශ්‍රී ලංකාව මුළු ලොවම දැන හඳුනා සිටියේ මුහුදු සේද මාවතේ පිහිටි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසටයි. ශ්‍රී ලංකා විටෙක පෙර දිග ධාන්‍යාගාරය ලෙස හැදින්වූයේ ඒ නිසයි. මුළු කලාපයේ තිබුණු සහල් ලොව පුරා බෙදා හරින මධ්‍යස්ථානය වුනේ ලංකාවයි.

ඒ අතීත උරුමයන් යළි ස්ථාපිත කරමින් අපේ අවසාන ඉලක්කය වන්නේ ශක්තිමත් හා සංවර්ධිත හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. කාලගුණ විපර්යාස අනාගත ලෝකය මුහුණ දෙන දැවැන්ත ගැටලුවක් බව හඳුනාගෙන තියෙනවා. කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දිය හැති ශක්තිමත් ආර්ථිකයක් අපි බිහි කළයුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවාක් මෙන් “ අහසින් වැටෙන එක ජල බිදුවක් වත් අපතේ නොයවීමට” අප වගබලා ගත යුතුයි.

අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල්වෙමින් යනවා. මධ්‍යම පන්තිය හැකිලෙනවා. තව පැත්තකින් ව්‍යාපාර සහ කර්මාන්ත බරපතල අභියෝගයන්ට මුහුණ දෙනවා. රැකියා අහිමි වෙමින් යනවා.

පසුගිය කාලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටුනා. ඊට හේතු කිපයක් තියෙනවා. කොවිඩ් වසංගතය නිසා රැකියා ගණනාවක් අහිමි වුණා. රැකියා සඳහා විදේශගත වන අය සිමා වුණා. රුපියල කෘතිමව පාලනය කිරීම නිසා වෙනත් ක්‍රමවලින් ලංකාවට මුදල් එවීම වඩාත් වාසිදායක වුණා. දැන් ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. බැංකු පද්ධතිය හරහා ලංකාවට මුදල් එවීම දිරිමත් කරලීමට අප පියවර ගන්නවා.

සංචාරකයිවන් වැඩිපුර පැමිණෙන්නේ අගෝස්තු මාසයේ සිට, මේ සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.

අපි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. රජයේ බලපත්‍ර ඉඩම් ලාභින්ට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. කඳුකරයේ දමිළ ජනතාවගේ ගැටලු විසඳීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ආර්ථික ස්ථාවර කිරීමේ වෑයමේදි සමාජයේ දුබල, අසරණ අඩු වරප්‍රසාදිත කොටස් පිළිබදව දැඩි අවධානයක් යොමු කරනවා. රටේ ව්‍යවසාකයන්ට සිය කුසලතා ඔස්සේ ඉදිරියට පැමිණීමේ මාර්ග තව තවත් පුළුල් කරමින් ඔවුන් දිරිමත් කරනවා.

මම අනාගතය වෙනුවෙන් සිදු කළයුතු සාධනීය සමාජ වෙනස්කම් වෙනුවෙන් කැප වෙනවා. නැවතත් පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීමට අවශ්‍ය පදනම සකස් කරනවා. සමාජ වෙළදපොළ ආර්ථිකයක් ඔස්සේ ප්‍රතිලාභ සමස්ථ සමාජයට සාධාරණව ලබා දෙනවා.

මේ සඳහා සමාජ සාධාරණත්වය කොමිසමක් ස්ථාපිත කරන්නට ද මම පියවර ගන්නවා.

මීට දශක හතර පහකට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය පිළිබදව ආර්ථික සංකල්පයක් පැවතුනා. නමුත් එය අසාර්ථක හා ආකාර්යක්ෂම බව දැන් මුළු ලොවම පිළිගෙන තියෙනවා. සමාජවාදී රටවල් වන චීනය සහ වියට්නාමය වැනි රටවල් පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේ එල්ලී සිටියොත්, අපේ රට තවදුරටත් පහලට වැටිම වළක්වාලන්නට කිසිවෙකුට හැකි වන්නේ නෑ. ඒ නිසා මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියට ගෙනයා යුත්තේ කෙසේද යන්න පිළිබදව අපට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදුවෙනවා.

මෙතෙක් ලෝකයේ ආර්ථික බලවතුන් වුයේ බටහිර රටවල්, නමුත් 21 වන සියවස නිමා වන්නට පෙර ලෝකයේ බලවත්ව ආර්ථිකය ඉන්දීය සාගර කලාපයට හිමි වෙනවා. එවැනි පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. අප මේ වාසිදායක පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. මේ බැව් සිහි තබා ගෙන අපේ අනාගත ආයතනික නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කළයුතුයි. හැමදාමත් ණය ගනිමින් රටක් ගෙන යන්නට අපට බැහැ. ණය ගැනීම් හැකිතාක් අවම කර ගැනීමට අප කටයුතු කළයුතුයි. ඒ නිසා ඉන්දීය සාගර කේන්ද්‍රිය නව ආර්ථික බලයෙන් අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි නීති – රීති හා ප්‍රතිපත්ති මම ඔබ සමඟ එකතු වී සම්පාදනය කරනවා.

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම උදෙසා වෙහෙසීමේදී සාම්ප්‍රදායික චිනතනයෙන් මිදෙන්න කියා මම සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. නිකරුණේ වැඩි පොළියට වාණිජ්‍ය ණය ගනිද්දි නිසොල්මනේ බලා සිටි සමහර කණ්ඩායම්, රටට හිතකර ආයෝජනවලට විරුද්ධ වෙනවා.

කවුරුන් හෝ කියන දෙයක් සොයා බැලීමෙන් තොරව පිළිගෙන, විදේශ ආයෝජන සඳහා විරුද්ධවීම නිසා අපේ රටට සිදුවුණු පාඩුව මිළ කරන්න බෑ. දූෂණ සහ වංචා නිසා රටට සිදු වූ අලාභයන් ගැන ජනතාව දන්නවා. ඒත් බොරු බිල්ලන් මවා පාමින්, විදේශ ආයෝජන කඩාකප්පල් කරමින් රටට සිදු කළ පාඩුව ගණන් හදන්න බැරි තරම් විශාලයි.

මම උදාහරණ කීපයක් පමණක් ගෙනහැර දක්වන්නම්.

ඉන්දියාව සමඟ ඒක්වී ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට සැරසෙද්දී ඉන්දියාවට ලංකාව විකුණනවා කියමින් සංවර්ධන ව්‍යාපෘතිය අඩාල කළා. එදා අපට තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කර ගැනීමට අවකාශ ලැබුණා නම්, අද ජනතාවට ඉන්ධන පෝලිම්වල දින ගණන් රස්තියාදු වෙන්නට සිදු වෙන්නේ නෑ.

සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරද්දීත් ඒ හා සමානම විරෝධයක් පෑවා. සුවසැරිය ගිලන් රථවලින් රෝහලට ආවොත් අත්වෙන්නේ මරණය කියා කියමින් සමහර වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. නමුත් අප කෙසේ හෝ සුවසැරිය ආරම්භ කළ නිසා මේ වන විට ජීවිත දහස් ගණනක් ආරක්ෂා වී තියෙනවා.

සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කරන්නටත්, වරාය වැඩි දියුණු කරන්නටත් ජපානය ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධ වුණේ පදනම් විරහිත බොළඳ හේතු ගණනාවක් දක්වමින්. මේ නිසා අපේ රටට ලැබීමට තිබුණු ඩොලර් බිලියන 3කට අධික ප්‍රමාණයක් අහිමි වුණා. ඒ් විතරක් නෙවෙයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිබුණු ඉපැරණි මිත්‍රත්වයත් දෙදරා ගියා.

මේ ව්‍යාපෘති අපට ලබාදීමට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකාවේ කුළුපග මිතුරෙකු වූ හිටපු ජපාන අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමා. එතුමන් පසුගියදා ඝාතන කෙරුණා. අපේ ආගමික විශ්වාසයන් අනුව මේ අවස්ථාවේ මම අබේ මැතිතුමාට පින් අනුමෝදන් කරන්නට කැමතියි.

සංවර්ධන ආර්ථිකයක් කරා අප යන ගමන් මග වඩාත් ශක්තිමත් කර ගැනීමට නම් අප අතීතය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. අපේ ආර්ථිකය මේ තරම් පහළ තලයකට ඇද වැටුණේ ඇයි? ඝෘණාත්මක ප්‍රතිපල අපට උරුම වුණේ ඇයි? පුද්ගලයන් සිදුකළ වැරදි නිසාද? එසේත් නැතිනම් ප්‍රතිපත්තිය‍මය අඩුපාඩුකම් නිසාද? එක් එක් පුද්ගලයන්ට තමන්ට කැමති විදියට ආර්ථිකය හැසිරවීමට ඉඩ ලැබුණේ කොහොමද? පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද? කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීමට රටට හිතකරද? නැත්නම් අහිතකරද?

මේ තත්ත්වය අපි ගැඹුරින් විමසා බැලුවා. ඊට පිළියම් ලෙස ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කරනවා.

2025 වෙද්දී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ඉලක්කයයි. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සහයයි. 2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි. වර්තමානයේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140ක්. 2032 වෙද්දී මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපේ සැලසුමයි.

ඒ අයුරින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ, රටත්, ජාතියත්, ගොඩ නැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත්, 2048 වසරේ, 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ, පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වෙන්නට අපට පුළුවන් වෙනවා.

මම මේ වගේ දීර්ඝ කාලීන ඉලක්ක සඳහා සැලසුම් සකස් කරද්දී සමහරු අවඥාවෙන් බලනවා. උපහාස කතා කියනවා. ඔව්. මම වෙනත් දේශපාලනඥයන් වගේ නෙවෙයි. මා ළඟ තියෙන්නේ දීර්ඝ කාලීන සැලසුම්. මම සැලසුම් කරන්නේ මගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙවෙයි. තරුණ පරම්පරාව වෙනුවෙනුයි. හෙට දවස වෙනුවෙනුයි. මම අද දවසේ පැළ කරන ගසෙහි පලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූ දරුවන්, අනාගත පරම්පරාව ඒ පලදාව භුක්ති විඳීවි.

අපේ රටේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද විශේෂ සඳහනක් කරන්නට මම කැමතියි. විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා අපට ජාත්‍යන්තර තලයේ බොහෝ අවාසි සහ පසුබෑම් සිදු වුණා. මම ඔබ සැමත් සමග එක්වී මේ තත්ත්වය වෙනස් කරනවා. ලෝකයේ හැම රටක්ම අපේ මිතුරන්. අපට සතුරන් නැහැ. අප කිසිම පිලකට අයත් නැහැ. හැම රටක්ම සමග සුහද හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මම සහතික කරනවා.

සමෘධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා ආර්ථික වර්ධනයට සමාන්තරව සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු බව මම මීට කලිනුත් අවධාරණය කර තියෙනවා. අපේ රටේ ජනතාවත් දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙනවා.

අද සිදුවී ඇත්තේ කුමක්ද? දේශපාලන ක්‍රමවේදය හා දේශපාලනඥයන් පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටී තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ ජනතා අපේක්ෂා බිඳ වැටී තියෙනවා. පසුගිය කාලය පුරා අරගලයේ යෙදුණු ජනතාව මේ ක්‍රම පද්ධතියේ වෙනසක් ඉල්ලා සිටියේ ඒ නිසයි.

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීමට අවශ්‍ය සියලු වෙනස්කම් සිදු කිරීමට මම පියවර ගන්නවා. රට ඉල්ලා සිටින සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ මම සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා.

ක්‍රමවේදයේ වෙනසක් ප්‍රාර්ථනා කරමින්, රට පුරා තැන තැන ආරම්භ වුණු අරගලය පසුව ගාලු මුවදොරට කේන්ද්‍රගත වුණා. දිවයිනේ ප්‍රධාන නගර කීපයකටත් එය ව්‍යාප්ත වුණා. මේ අරගලය ඉතා අවිහිංසාවාදී ලෙස හා නිර්මාණශීලි ලෙස පැවැත්වුණා. මේ අරගලකරුවන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කළේ නෑ. ඒ නිසාම තම තමන්ගේ විරෝධය පළ කිරීමට පවුල් පිටින් අරගලයට එක් වුණා. කුඩා දරුවන් පවා අරගල පැවැත්වූ ස්ථානයන්ට රැගෙන ඒමට දෙමාපියන් බිය වුණේ නෑ.

වරෙක අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්තිවල චිත්‍ර ඇන්දා. හැබැයි කිසිම හානියක් නොවෙන ආකාරයට. ඩිජිටල් ක්‍රමයට. නමුත් පසුව මේ අවිහිංසාවාදය යටපත් වී ප්‍රචන්ඩත්වය ඉස්මතු වුණා. යම් යම් කණ්ඩායම් අරගලයේ සාමුහිකත්වය යටපත් කරමින් අයිතිකරුවන් බවට පත් වුණා. ඔවුන් ආදරය වෙනුවට අරගලයට ප්‍රචණ්ඩත්වය එන්නත් කළා. ත්‍රස්තවාදය කාන්දු කළා.

මම ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා.

සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා.

මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා.

සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා.

නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා.

නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි.

මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට මම වග බලා ගන්නවා.

ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රචණ්ඩත්වය පතුරවන කණ්ඩායම් සිටිනවා. දවස් ගණන් පෝලිමේ සිටින ජනතාවට තෙල් ලබා ගැනීමට ඉඩ නොදී, බලහත්කාරයෙන් පෝලිමේ ඉදිරියට පැමිණෙන අය ගැන පැමිණිලි ලැබෙමින් පවතිනවා. එවැනි පාතාළකරුවන්ට ඉඩ දෙන්න බෑ. මේ අපි ඉන්ධන අර්බුධයට මුහුණ දෙන අවස්ථාව. මේ නිසා අපට සපයා ගත හැකි සීමිත ඉන්ධන ප්‍රමාණය සාධාරණ ලෙස බෙදී යා යුතුයි. පෝලිමේ පනිමින් ඊට බාධා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද තදින් නීතිය ක්‍රියාත්මක කරන ‌ලෙස පොලිස්පතිවරයාට මම උපදෙස් ලබා දී තිබෙනවා.

අගෝස්තු මාසයේ බෞද්ධ සහ හින්දු ආගමික ප්‍රධාන උත්සව ගණනාවක් පැවැත්වෙනවා. අගෝස්තුවේ සංචාරකයන් පැමිණීම වැඩි වීමට නම් උත්සවත් එක් හේතුවක්. නමුත් රටේ කලබලකාරී පසුබිමක් ඇති කර මේ උත්සව කඩාකප්පල් කිරීමට යම් යම් කණ්ඩායම් උත්සාහ ගන්නා බවක් වාර්තා වෙනවා. ආරක්ෂක අංශ මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. මෙ වැනි උගුල්වලට හසුවී රටේ අනාගතය විනාශ කිරීමේ වෑයමට දායක නොවන මෙන් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

සාමකාමී ලෙස විරෝධය පෑම සඳහා දැනට කොළඹ නගර සභාවෙන් සහ මහනුවර නගර සභාවෙන් ස්ථාන වෙන් කර දී තියෙනවා. ඒ ස්ථානයන්හී විරෝධය දක්වන අරගලකරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට ද නගර සභා කටයුතු යොදනවා. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයන්හී තව දුරටත් රැඳී නොසිටින ලෙසයි. ඒ නිසා අනවසර ස්ථානයන්ගෙන් ඉවත් වී, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම සඳහා ඔබේ සහාය අප අපේක්ෂා කරනවා.

ගාලු මුවදොර අරගලයට සමගාමීව මඩකළපුවේදී අරගලයක් පැවැත්වුණා. දිනපතා ගාන්ධි ප්‍රතිමාව වෙත පා ගමනක් සංවිධානය කෙරුණා. අපේ රටේ කාන්තා ක්‍රියාකාරිනියක් ලියූ ලිපියක, මඩකළපු අරගලයට එක් වූ ටිබෙට් ජාතික තාෂි චෝදප් ස්වාමීන්වහන්සේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුණා. මම ඒ ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.

“මේ පා ගමනට එක්වීමෙන් ඔබ ඔබේ සහභාගීත්වය යළි තහවුරු කරනවා. ඔබේ විරෝධය වෙනස් ආකාරයකින් පළ කරනවා. ඔබේ සහභාගීත්වයෙන් පිළිබිඹු වන්නේ වර්තමානයේ සිදුවන දේ පිළිබඳව ඔබේ මතයයි. ඔබ තෝරාගෙන ඇත්තේ මේ අර්බුද අවස්ථාවේ අවදියෙන් සිටීමයි. එසේ නොමැතිව හුදෙකලාව කම්පාවීම නොවේ. අර්බුදයක් තවත් අර්බුදයකින් විසඳිය නොහැකි බැව් අප දන්නවා. අර්බුදය විසඳා ගත හැක්කේ සමගියෙන් පමණයි.”

තාෂි චෝදප් ස්වාමීන්වහන්සේ පැවසූ පරිදි, අපි සියලු දෙනා එක්ව, සමගියෙන් මේ අර්බුදය විසඳා ගත යුතු බව මම නැවතත් මේ සභාවට අවධාරණය කරනවා. අපි එකට එ‍කතු වෙමු. 21 වැනි සියවසට අවශ්‍ය සමාජ, ආර්ථික හා දේශපාලන වෙනස්කම් සිදු කරමු.

එතැනදී සාධක කීපයක් කෙරෙහි අවධානය යොමු කරවන්නට මම කැමතියි. මේ අර්බුද විසඳා ගනිම්න් අප ඉදිරියට යායුත්තේ කවර ආකාරයටද? ඒ ගමනේදි දේශපාලන පක්ෂවල වගකිම් මොනවාද? අපේ සාම්ප්‍රදායික දේශපාලන චින්තනයට කොටුවී මේ ගමන යන්න පුළුවන්ද.

දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබදව අපට අළුතින් සිතන්නට වෙනවා. පක්ෂවල ක්‍රියාකාරිත්වයන් අනාගතයට ගැලපෙන අයුරින් යළි සකසා ගත යුතු වෙනවා. දේශපාලනය කියා අද අප සිතා සිටින දේ, දේශපාලනය කියා අද අප සිදුකරන දේ, තවදුරටත් ඒ ආකාරයෙන්ම ගෙන යායුතුද කියා සිතා බැලිය යුතු වෙනවා. දේශපාලන අධ්‍යාපනය පිළිබද ගැඹුරින් සළකා බැලිය යුතු වෙනවා.

1977 දී තරුණ තරුණියන් හැටියට අපේ අපේක්ෂා හා බලාපොරොත්තු ගණනාවක් සපරාලන නව ආර්ථිකයක් නිර්මාණය කර ගන්නට අපට හැකි වුණා. දැන් අනාගතයට සරිලන නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපේ තරුණ පරපුරේ පුර්ණ දායකත්වය ලැබිය යුතුය. ඔවුන්ගේ කුසලතා සීමා විය යුත්තේ අරගල බිමකට පමණක් නොවේ. රටේ ඉදිරි ගමන සඳහා ඔවුන්ගේ නිර්මාණ කුසලතා යොදා ගැනීමේ අවස්ථාවන් අප උදා කර දිය යුතුයි. ඉදිරි මැතිවරණයකදී වැඩි වැඩියෙන් තරුණ තරුණියන් මේ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඉදිරි මැතිවරණය තරුණ පරපුරේ වාරය විය යුතුයි. ඒ සඳහා ඉඩකඩ සැලසෙන පරිදි අළුත් ආකල්ප වලින් සමන්විත අළුත් ව්‍යවස්ථාවත් නිර්මාණය වීම ප්‍රමුඛතම කාර්යයක් ලෙස මා සළකනවා.

වර්තමානයේ, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදී සියල්ලෙහි සාමාජිකයන් පත් කිරීමේ පුර්ණ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාටයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවන බව මම කෙලින්ම කියනවා. අපි ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනෙකුට තිබු බලයටත් වැඩි බලයක් උරුම කර දී තියෙනවා. එය වහාම වෙනස් කළයුතුයි.

රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජකෙනෙකු හෝ දෙවි කෙනෙකු විය යුතු නෑ. ඔහු හෝ ඇය පුරවැසියන් අතරින්ම කෙනෙක්. ඒ නිසා වෙනම කොඩි, වෙනම ලාංඡන, වෙනම ගරු සම්මානවලින් පූජනීයත්වයට පත් කලයුතු නෑ.

දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වන සංශෝධනයේ තිබු සියලුම සාධනීය අංගයන්ද අන්තර්ගත කොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ ගරු සභාවේ පුර්ණ සහයෝගය මම අපේක්ෂා කරනවා.

22 වන ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා. මේ ගැන සාකච්ඡා කොට පොදු එකඟතාවයකට එළඹිම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි. අපට අවශ්‍ය සියළු දේ 22 වැනි සංශෝධනය මගින් ඉෂ්ඨ කර ගන්න බැරි වේවි. එය අපේ ප්‍රතිසංස්කරණ මාලාවේ මුලික පදනමක්. මේ සභාවේ සිටින අප සියලු දෙනා ඒකමතිකව එය සම්මත කර ගැනීම වඩාත් යහපත් ඉදිරි පියවරක් වේවි.

මා කළිනුත් සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. ඒ කමිටු මඟිනුත් සියලු දේශපාලන පක්ෂවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ වී එකට එක්ව වැඩ කිරීමේ අවකාශ උදාවෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ පිළිබ ඳව ඉදිරිපත් කළ වාර්තාව මම දැනටමත් මෙම සභාවට ඉදිරිපත් කර තියෙනවා.

ඒ වගේම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවීමට මම ක්‍රියා කරනවා. ඉදිරි පියවර උදෙසා සියලු දෙනාගේම අවම පොදු එකඟතාවයකින් යුතු වැඩ පිළිවෙලක් මේ ජාතික සභාව ඔස්සේ සකස් කර ගැනීමට අපට පුලුවන් වෙනවා.

හේද බින්න වීම් නිසා අපේ රට අතීතයේ සිටම පසුබෑම්වලට ලක් වුණා. අපි ජනවර්ග වශයෙන් බෙදුණා. භාෂා වශයෙන් බෙදුණා. ආගම් වශයෙන් බෙදුණා. පක්ෂ වශයෙන් බෙදුණා. පන්ති වශයෙන් බෙදුණා. භූගෝලීය වශයෙන් බෙදුණා. කුල වශයෙන් බෙදුණා.

යම් යම් පාර්ශවයන් මේ බෙදීම් තව තවත් පුළුල් කළා. බලය ලබා ගැනීමට මේ බෙදීම් පාවිච්චි කළා. බෙදා පාලනය කිරීමේ වාසි ලබා ගත්තා. ජනවර්ග ආගම් ආදී විවිධ බෙදීම් ඇති කරමින් බලය පවත්වාගෙන යාමට උත්සාහ කළා.

1977 දී දේශපාලනය පිවිසුන දා සිට මට අවශ්‍ය වුණේ මේ බෙදීම් වලින් තොරව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතු සමාජයක් බිහිකරලීමටයි. එක මවකගේ දරු කැලක් සේ සමඟිව වාසය කළ හැකි දේශයක් නිර්මාණය කිරීමටයි. මේ ව්‍යායාමයේ නිරන්තරව නිරත වීම නිසා මා දේශපාලන පරාජයන්ට ලක් වුණා. අන්තවාදී විවේචනයට ලක් වුණා. ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධව දිගින් දිගටම පෙනී සිටීම නිසා සමහර දේශපාලන පක්ෂ මාව ජාතිද්‍රෝහියෙකු හා ආගම් විරෝධියෙකු ලෙස අපවාදයට ලක් කළා.

ඒත් මම කිසි විටක මගේ ප්‍රතිපත්තියෙන් ඈත් වුණේ නැහැ. කිසි දිනක ඒ ප්‍රතිපත්තියෙන් මම ඈත් වෙන්නේත් නෑ.

අද තරුණ පරපුරේ බහුතරයක් මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව පිළිගෙන තිබෙනවා. ඔවුන් ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව සටන් පාඨ කියනවා. සිංහල – දමිළ – මුස්ලිම් – බර්ගර් ආදී ජනවර්ග අතර සාමය අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණ කරනවා. දමිළ, මුස්ලිම් ඇතුළු සියළු ජනකොටස් වලට සමානත්වයෙන් සැලකිය යුතු බව සිංහල තරුණ තරුණියන් කියනවා. දශක පහක පමණ කාලයක් තිස්සේ මම මේ සමාජයට පහදා දෙන්න උත්සාහ කළ සත්‍යය අද තරුණ පරපුර වටහා ගෙන සිටීම මට සතුටට කරුණක්.

මේ තරුණ තරුණියන්ගේ සහයෝගයද ඇතිව මුළු රටම ඒ ප්‍රතිපත්තිය කරා යොමු කිරීමේ අවස්ථාව දැන් අපට උදා වී තියෙනවා. ජාති, ආගම්, පක්ෂ, කුල ආදි සියළු භේද තුරන් කර දමන්නට ඉඩ ලැබී තියෙනවා. ඒ භේද නිසා සමහර ජනකොටස් විඳින පීඩාවන් අවසන් කරන්නට අවකාශ සැලසී තියෙනවා. කුසලතාවය හා හැකියාව මත පුද්ගලයෙකුගේ ඉදිරි ගමන තීරණය කිරීමේ පදනම තහවුරු කරලීමට අවකාශ සැලසී තියෙනවා. සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පසුබිම උදා වී තියෙනවා.

මෙහිදී දමිළ ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටළු සඳහා දේශපාලන විසඳුමක් ලබා දීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. යුද්ධයේ පීඩාවන් නිසා ඔවුන් සමාජීය සහ ආර්ථික ගැටළු ගණනාවකින් පීඩා විඳිනවා. විසඳිය යුතු ඉඩම් ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා. උතුරේ සංවර්ධන කාර්යයන් පිළිබඳව අප අලුතෙන් සිතා බැලිය යුතු වෙනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ වැඩපිළිවෙලට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ජනගහනයෙන් බහුතරය වන කාන්තාවන් තවමත් ස්ත්‍රී හිංසනය, ප්‍රචණ්ඩත්වය හා අනෙකුත් වෙනස්කම් වලටත් මදි පුංචිකම්වලටත් මුහුණ දෙනවා. මේ තත්ත්වය හා සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සමාජ හා දේශපාලන පියවර අප ගත යුතු වෙනවා.

ඒ වගේම අල්ලස, දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුලුමනින්ම තුරන් කිරීමත් අනිවාර්යය කාරණයක්. අල්ලස් හා දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා. මේ සම්බන්ධයෙන් නව නීති – රීති හා අණපනත් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතිනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් දූෂණ මැඩලීම පිළිබඳ එකඟත්වයට එළැඹෙනවා.

මේ සියළු කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පරිපූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍යයයි. ඒ ප්‍රතිසංස්කරණ මගේ ධූරකාලය තුළ මම සිදු කරනවා. හැබැයි මගේ තනි මතයට නෙවෙයි. තරුණයන්ගේ කාන්තාවන්ගේ සහ අනෙකුත් ජනතාවගේ අදහස් පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ එකඟත්වය සහිතව.

සිදු කළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදැයි තීරණය කිරීම උදෙසා ජනසභාවක් ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. දේශපාලන පක්ෂ විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියළු පුද්ගලයින්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් ජන සභා ඔස්සේ සකස් කරනවා. මේ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වුණ තරුණ පරපුරටත් සම්බන්ධ නොවුන තරුණ පරපුරටත් මම විශේෂයෙන් ආරාධනා කරනවා.

අපේ රටේ ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? රටට වඩාත්ම ගැලපෙන ක්‍රමය කුමක්ද? ආණ්ඩු ක්‍රමය කවරාකාරයේ ප්‍රතිසංස්කරණයන්ට ලක් විය යුතුද? මේ ආදී සියළු කාරණා ජන සභා මඟින් සාකච්ඡාවට භාජනය කරනවා. අදහස් විමසනවා. රටට වඩාත්ම ගැළපෙන ක්‍රමය පිළිබඳ ජාතික එකඟතාවයකට එළැඹීමෙන් පසු ඒ ක්‍රමය ව්‍යවස්ථාපිත කර ක්‍රියාවට නංවනවා.

මේ ආකාරයෙන් ජාතික එකඟතාවයකට එළැඹීම අත්‍යාවශ්‍යය කරුණක්. ඒ පිළිබඳවත් මම යමක් පැහැදිලි කරන්නම්. අපේ රටේ ජනාධිපතිවරණ බොහොමයකදීම ඉදිරිපත් කෙරුණ ප්‍රධාන පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් ඒ පොරොන්දුව හරහා බලයට පැමිණි කිසිඳු කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ. අනෙක් අතට කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් ඊළඟට බලයට පත් වෙන පක්ෂයට යළිත් එය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ජන සභා ඔස්සේ පොදු ජාතික එකඟතාවයන්ට එළැඹීම අත්‍යාවශ්‍යය වන්නේ.

ජන සභාව පූර්ණ ස්වාධීනව කටයුතු කරන ආයතනයක්. ආණ්ඩුව ඊට අවශ්‍ය සම්පත් ලබා දෙනවා පමණයි. එහි කාර්යයන්ට හෝ තීරණවලට ආණ්ඩුවේ කිසිඳු බලපෑමක් නැහැ. ජනාසභාවේ සංයුතිය පිළිබඳවත් අපි විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කොට තීරණය ගන්නවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජන සභාව සම්බන්ධයෙන් අපට අදහස් හා යෝජනා ලබා දී තියෙනවා.

ජන සභාවේ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව කරලීම සඳහා කලාපීය රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර බහුපාර්ශවීය සංවිධාන වලින් සහාය ලබා ගැනීමටත් අවකාශ සලසා දෙනවා. නිරීක්ෂණ හෝ තාක්ෂණික උපදේශන මට්ටමින් ඒ සහාය ලබා ගැනීමට ජන සභාවට අවශ්‍ය අවකාශ තියෙනවා.

මේ අයුරින් සියළු දෙනාගේ අදහස් හා උපදෙස් ලබා ගනිමින් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකරමින් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සැලස්මක් සකස් කිරීමේ වගකීම ජන සභාවට පැවරෙනවා. ඉතා කඩිනමින් මේ සැලැස්ම සකස් කරන මෙන් අප ජන සභාවෙන් ඉල්ලා සිටිනවා.

මිත්‍රවරුනි,

මම 1974 වසරේ තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. රටේ විවිධ තනතුරු දැරුවා. නින්දා – ප්‍රශංසා, යස – අයස මැද මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරදි යැයි සිතෙන දේ රට වෙනුවෙන් සිදු කළා. ගෙවුනු වසර දෙක තුන තුළ රට ක්‍රමයෙන් අස්ථාවර තත්ත්වයකට පත්වෙනු මම අත්දැක්කා. ඒ සියල්ල දෙස ආපසු හැරී බලද්දී මගේ මතකයට එන්නේ රාජකීය විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ කටපාඩම් කළ ලෝක ප්‍රකට සාහිත්‍යවේදියෙකු වන රුද්යාද් කිප්ලිං ලියූ ‘ඉෆ්’ නැමති කවි පෙළ.

එහි කොටසක් මම උපුටා දක්වන්නම්.

If you can meet with Triumph and Disaster

And treat those two impostors just the same;

If you can bear to hear the truth you’ve spoken

Twisted by knaves to make a trap for fools,

Or watch the things you gave your life to, broken,

And stoop and build’em up with worn-out tools:

You’ll be a Man, my son!

“ජය හෝ පරාජය හෝ වේවා,

ඒ රැවටිලිකාර අවස්ථාවන් දෙකම එක ලෙස

පිළිගන්නට හැකි නම් ඔබට,

අනුවණයන් රවටනු පිණිස

වංචනිකයන් විසින් ඔබට පැවසූ සත්‍ය විකෘති කරනු

ඉවසා දරා සිටින්නට හැකි නම් ඔබට;

විනාශ වූ කල, ජීවිත පරිත්‍යාගයෙන් ඔබ ගොඩ නැංවූ සියල්ල

සන්සුන් සිතින් යුතුව අබලන් ආම්පන්නවලින්

යළිඳු ගොඩ නංවන්නට හැකි නම් ඔබට;

පුතුනි, ඔබ සැබෑ මිනිසෙකි.”

ඉතින්, අපි අවංක හදවතින් හා උදාර අපේක්ෂාවන්ගෙන් යුතුව අළුත් ගමනකට මුල පුරමු. සත්‍යයේ සහ නිදහසේ බීජ රෝපණය කරමු. වර්තමානයේ අප වෙත අනේක අවලාද සහ විවේචන නැගෙන්නට පුළුවන්. නමුත් අප රෝපණය කළ සත්‍යයයේ සහ නිදහසේ බීජ පැළවී, වැඩී පලදරන අනාගතයේ දවසක අප නිවැරදි බව සනාථ වේවි.

මගේ කතාව අවසන් කරමින් මම බුදුන් වහන්සේ දේශනා කළ අදහසක් ඔබට සිහිපත් කරන්න කැමතියි. අවස්ථා ගණනාවකදී බුදුන් වහන්සේ මේ කරුණ අවධාරණය කළ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා.

“අත්තදීපා විහරථ……”

තමා තමාට දීපයක් වෙන්න.

අපි අපිටම දීපයක් වෙමු. ඒ දීපාලෝකයෙන් ශ්‍රී ලංකාද්වීපය ආලෝකවත් කරමු.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්