මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් ජීවිතය තුළ ජීවත් වෙන්නේ දවසින් දවස ඔවුන් සිත තුළින් මවා ගන්නා විවිධ සිහින පොදි බැඳගෙනයි. ඒක මිනිසුන් වන ඔබටත් මටත් එකසේ පොදු දෙයක්. කාන්තාවක් කියලා කියන්නෙත් ඒ විදිහට ජීවිතේ බොහෝ දේ  සිහිනයන් එක්ක සැබෑ කරගන්න බලාපොරොත්තු දල්වාගෙන ඉන්න පිරිසක්.

මම මේ කතාව මෙහෙම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් හීන දකින එක එතරම් හොඳ නැති දෙයක් ද කියලා. නමුත් ජීවිතේ සුබ සිහිනයක් ඔබට අනිවාර්යෙන්ම තියෙනවා නම් ඔබ ඒ සිහිනය සැබෑ කර ගන්නා මාර්ගය තෙක් හිත ඔබව මෙහෙයවනවා. අන්න ඒ නිසයි අපි සුභ සිහින දැකිය යුත්තේ.

ඉතින් සුපුරුදු පරිදි අපි අපේ විශේෂාංග ලිපිය තුලින් අද ඔබට කියන්න යන්නේ ජීවිතයේ සිහින එකින් එක හැබෑ කරගෙන ජීවිතය දිනන්නට සැරසෙද්දිම අවාසනාවන්ත විදිහට ජීවිතේ නොසිතූ අවස්ථාවකට මුහුණ දුන්  තරුණියක් පිළිබඳවයි. අවසානය තෙක් මේ ලිපිය කියවනවා නම් ඇය පිළිබඳව මීට වසර ගණනාවකට කලින් රූපවාහිනී මාධ්‍ය පුවත්පත් මාධ්‍ය විසින්  එදා සෝචනීය ආකාරයෙන් විකාශය කෙරුණු ඒ පුවත ඔබට යළිත් මතක් කරන්නට පුළුවන්.

ඇය නමින්  විජේසිංහ කංකානම්ලාගේ අචලා ප්‍රියදර්ශනී. හැමෝටම වගේ අචලටත් ජීවිතය තුළ හැබෑ කරගන්න විවිධ බලාපොරොත්තු අභිමතාර්ථයන් තිබුණා. ඒ සියලු බලාපොරොත්තු සමඟ යෞවනියක් විදියට  ජීවිතය ආරම්භ කරන්න ඇය හිතුවා පමණයි. ඒ මතු යම් දිනක නීතිඥවරියක් වෙලා බොහෝ දෙනාට සේවය කිරීමේ අරමුණෙන්.

හොඳටම උසස් පෙළ සමත් වෙන අචලා නීති විද්‍යාලය ශිෂ්‍යයාවක් වශයෙන් ඉගෙනුම් කටයුතු සිද්ධ කරන්න වාසනාවන්ත වුණා. ඉතින් ඔන්න හා හා පුරා කියලා ජීවිතේ බලාපොරොත්තු වුණු හීන වලට එකිනෙක යන්න හම්බුනු අවස්ථාව හොඳම විදිහට ප්‍රයෝජනයට ගන්න ඇය කල්පනා කරනවා . එනිසාම නිතරම එදිනෙදා  වැඩකටයුතු අතපහු කරන්න නැතුව කරන්න ඇය තීරණය කරනවා.

මේ විදිහට ටිකක් කාලේ ගතවුණා. සාමාන්‍යයෙන් නේවාසිකාගාරයක ජීවත් වෙද්දී තමන්ගේ  ගම්බිම් බලන්න යන්න ආස හිතෙනවා. ඉතින් එක්තරා දවසක අම්මා තාත්තා බලලා එන්න ඕනි කියන සිතුවිල්ල අචලාටත් ඒ විදිහටම දැනෙනවා.

“මම එතකොට නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් විදියට ඉගෙනීම් කටයුතු කළා. විභාගයට තිබුණේ මාස හතරක් පහක් වගේ පුංචි කාලේ සීමාවක්. මම හොස්ටල් එකේ නැවතිලා හිටියේ. ඔය අතර වෙලාවක් ලැබුණු ගමන් මාතර ඌරුබොක්ක මගේ ගමේ අම්මා තාත්තා අයියා බලන්න මම අනිවාර්යෙන්ම එනවා. “

මේ විදිහට නේවාසිකාගාර ජීවිතයට තාවකාලිකව සමුදීලා ඇය කිරිල්ලියක් වගේ පියාඹගෙන යන්නේ තමන්ගේ අම්මා තාත්තා අයියා බලන්න. මේ විදියට මේ ගොල්ලොත් එක්ක ටික දවසක් ගත කරද්දි නොසිතූ විරූ අනතුරකට ඇය මුහුණ දෙන්නේ හදිසියේම ගෙදර පඩිපෙලෙන් ලෙස්සලා වැටීම නිසයි. මේ වෙලාවේ අචලාගේ වැලමිටේ අස්ථි බිඳීමක් සිද්ධ වෙනවා. මෙන්න මෙතන ඉඳන් තමයි ඇගේ ජීවිතය උඩු  යටිකුරු වෙන්න පටන් ගන්නේ.

ඒ වෙලාවෙම අචලාගේ දෙමව්පියන් කලබල වෙලා ඇයව මාතර මහ රෝහලට අරගෙන යන්න තීරණය කරනවා. මේ අවාසනාවන්ත සිදුවීම සිද්ධ වෙන්නේ 2013 වර්ෂයේ ජනවාරි මාසේ එක්තරා දිනයක. මේ විදිහට රෝහලට ගියාට පස්සේ ඇයව නතර කරන්න ඕනේ කියලා වෛද්‍යවරු තීරණය කරනවා.

අතේ දැඩි ලෙස අස්ථි බිඳීමක් සිදු වෙලා තියෙන නිසා  වෛද්‍යවරුන්ගේ ඒකමතික තීරණය වුනේ අත හරි ආකාරව සවිවීමට බදාම ප්ලාස්ටරයක් දාන්න ඕනේ කියන දේ. ඉතින් විශාල ක්‍රියාදාමයකින් අනතුරුව ඇගේ අත හොඳින් වෙලෙන සේ බදාම ප්ලාස්ටරය දානවා. මේ විදිහට ටික වෙලාවක් යද්දි අචලගේ අත දැඩිව වේදනා දෙන්න පටන් ගන්නවා.

ඇයට මෙමේම වේදනාව කිසිසේත් ඉවසගන්න බැහැ. කොයි විදිහට ඉන්න හැදුවත් ඒ වේදනාව නැවත නැවත දැනෙනවා. ඉතින් ඇයව අධික්ෂණය කරන වෛද්‍යවරුන්ට හෙද නිලධාරීන්ට ඇය මේ අත දැඩි ලෙස වේදනා දෙනවා කියලා සඳහන් කළත් ඔවුන්ගේ එකම පිළිතුර වුණේ “ඕක ගණන් ගන්න දෙයක් නෑ ඔහොම රිදෙනවා තමයි කාටත්”  කියලා විතරමයි.

“ඒ වෙලාවේ මට කියාගන්න තේරෙන්නෑ ඒ වේදනාව දරාගන්න බැහැ. මට තේරුණා ඒ ප්ලාස්ටරය මට තද වැඩියි කියලා. මම වේදනාවෙන් කෑ ගැහුවා අත රිදෙනවා කිව්වත් එයාලා ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මට නින්ද යන්නෙ එන්නතක් දුන්නා.”

වෛද්‍යවරුන් අචලගේ වේදනාව නැති වෙන්න කියලා නින්ද යන එන්නතක් දුන්නට පස්සේ ඇයට වේදනාව චුට්ටක් සමනය වෙනවා. නමුත් ඒ වෙද්දිත් ඇය පියවි සිහියකින් නෙමේ ඉදලා තියෙන්නෙ. මොකද ඒ වන විටත් ඒ තරමටම මේ වේදනාව උත්සන්න වෙලා. වෛද්‍යවරුන් වත් හෙද නිලධාරීන් වත් මේ පිළිබඳව සැලකිල්ලක් ලොකුවට දක්වලා නැහැ මොකද සාමාන්‍යයෙන් ඒ වගේ ප්ලාස්ටරයක් දැම්මහම මේ වගේ වේදනාවන් විඳින්න වෙනවා කියන දේ තමයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ.

කොහොමෙන් කොහොම හරි හෝරා ගත වෙන්න පටන් ගද්දී ටිකෙන් ටික ඇය අවාසනාවන්ත ඉරණමකට ලං වෙලා.අත වේදනා දුන්න හින්දා ප්ලාස්ටරේ ටිකක් කපලා ඉවත් කරලා තියෙනවා ඇඟිලි හරියෙන්.මෙහෙම ටික වෙලාවක් යද්දි ඔන්න හවස් වෙද්දි අචලාගේ අත නිල් වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් වෛද්‍යවරුන්ට තේරිලා තියෙනවා ඔවුන්ට කොතන හරි වැරදිලා තියෙනවා කියලා.

ඒ පිළිබඳව හදිස්සි වෙලා කටයුතු කරන්න තීරණය කරපු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇයව  එදිනම කරාපිටිය රෝහලට මාරු කරන්න තීරණය කරනවා.නමුත් කරාපිටිය රෝහලෙන් අචලව භාර ගන්නේ නැහැ.ඊට පස්සේ ඇයව යොමු කරන්නේ කොළඹ ජාතික රෝහලට. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරද්දිත් සෙල්ලම් බඩුවක් වගේ එහාට මෙහාට  තල්ලු වෙච්චි අචලාගේ අතට වෙන්න ඕනේ හරිය ඒ වෙද්දි වෙලා අවසන්.

කොළඹ මහ රෝහලේදී වෛද්‍යවරුන් බදාම ප්ලාස්ටරය කපා ඉවත් කරනවා.ඊට පස්සේ ඔවුන්ගේ ඊළඟ පිළඟ පියවර වුණේ අත පලා මාංශපේශී ලිහිල් කිරීමයි.නමුත් කොතෙකුත් උත්සාහ ගත්තත් ඊටත් වඩා බරපතළ විදිහට මේ දේ සිද්ධ වෙන්න පටන් අරන්.ඒ නිසා උත්සාහයන් සියල්ල ව්‍යාර්ථ කරමින් අවසානයේ වෛද්‍යවරුන්ගේ ඒකමතික තීරණය වුණේ අත වැළමිටෙන් කපා ඉවත් කිරීම හැර වෙන විකල්පයක් ඇයට නැහැ කියන දේ.

ඉතින් අත් දෙකම ඇතිව අංගසම්පූර්ණව ඉපදිලා එක අතක් නැතිව ගෙදර යන්න වෙනවා කියන දේ ඒ වෙලාවේ ඇයට කොහොම දැනෙන්න ඇද්ද. අත වේදනා දිදී දැනුනු වේදනාවටත් වඩා සියදහස් ගුණයක වේදනාවක් එවෙලේ අචලාට දැනෙන්න පටන් අරන්. ඇයට අදටත් ඒ මතකය මතක් කරන විට ඒ දැනුණු වේදනාව කවදාවත් අමතක කරන්න බැහැ.

අතට බෙහෙත් ගන්න ගියපු අචලාට අන්තිමට සිද්ධ වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා එක අතක් අහිමි කරගෙන ගෙදර එන්න. හිතන්න පුළුවන්ද කාන්තාවකට ඒ වගේ දෙයක් දරාගන්න පුලුවන් කියන දේ. ඒ වෙද්දී අචලා පෙම්වතියක්. ඔහුගේ පෙම්වතා නාවික හමුදාවේ සේවය කරපු කෙනෙක්. ඉතින් මේ සිදුවීම දැනගන්න ඒ ආදරණිය පෙම්වතා ඉක්මනට දුවලා ඇවිල්ලා ඇයට ශක්තියක් වෙනවා.

“කාලයක් මට මාව කන්නාඩියෙන් බලන්න බැරි තත්ත්වයක් උදා උනා . මම මානසිකව හොඳටම කඩා වැටිලා හිටියේ. වම් අතින් ලියන්න හුරු වෙලා හිටපු මට දේශන වලට ගිහින් ලියන්නෙ කොහොමද කියලා අඬපු වාර දුක්වුණු වාර අනන්තයි අප්‍රමාණයි. ඉතිං ඒ වෙද්දී විභාගයට තිබුනෙත් මාස කිහිපයයි . නමුත් කොහොමහරි විභාගය සමත් වී නීතිඥ සිහිනය සැබෑ කරගන්න ඕනෙ කියන දේ අවසානයේ මගේ හිතට ආවා.”

එවැනි තත්ත්වයකට ඇයට හිත හදාගන්න නිරන්තරයෙන්ම උදව් උපකාර වෙලා තියෙන්නේ ආදරණීය පෙම්වතා ඒ වගේම පවුලේ හිත මිතුරන් ඇතුළු සියලුම දෙනා නිසයි. ඇය සඳහන් කරන ආකාරයට මේ විදියට ඇයට සවියක් වෙන්න වටේටම හොඳ කල්‍යාණ මිත්‍ර පිරිසක් හිටියා .

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් අඹ යහළුවෝ. වමතින් අකුරු ලියන්න හුරු වෙලා හිටපු ඇයට අකුරු ලියාගන්න නොහැකි නිසා සටහන් ගෙනල්ල දීලා ඒ අවශ්‍ය කරන විෂය කරුණු එකිනෙක ඇගේ මනසට දාන්න මේ යහළු යෙහෙළි අමතක කළේ නැහැ. ඉතින් දැන් ඔන්න නැවතත් ඇය හොස්ටල් ජීවිතේට යාලුවොත් එක්ක හුරුවෙලා.

මේ අවස්ථාවේදී ඒ යාළුවෝ වගේම ඇගේ පෙම්වතා වන ප්‍රේශා නැමැති තරුණයා ඇය වෙනුවෙන් කොයිතරම් කැප කිරීම් කරනවද කියනවා නම් ඔහු නාවික හමුදා සේවයෙනුත් අයින් වෙනවා ඇය ළඟම ඉන්න.තරුණියන් රවටා අවස්ථානුකූලව තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමහගෙන හැර යන පිරිමි අතර අචලට අතක් දෙයක් නැති වෙද්දි අවංක ආදරයක් හරි අවසානයේ හිමිවෙන්න ඇය වාසනාවන්ත වුණා.

මේ විදිහට සියලුම දෙනාගේ ඇප කැප වීම උත්සාහය මත අචලාට නීති විභාගය ඉහළින් සමත් වෙන වාසනාව ලැබුනා.ඇය නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙන්න අවස්ථාව උදාකර ගත්තා.පුහුණුවීම්වලට යන කාල වකවානුව තුළදී ඔන්න අචලව නැවත වතාවක් මානසිකව කඩාගෙන වැටෙනවා ඇය නිතරම හිතුවේ එක අතක් තියාගෙන මම කොහොමද නඩු කතා කරන්නේ කියන දේ.ඒ වගේම මිනිස්සු අචලා දිහා බලලා තියෙන්නේ අනුකම්පා සහගතව.

කෘතිම අතක් දැම්මත් ඒ අත දාද්දී වෛද්‍යවරුන්ගේ මතය වුණේ ශරීරයේ බර වෙනස් වුනොත් අත දැම්මට වැඩක් වෙන්නේ නැහැ කියන දේ. නමුත් ඇයට කෘතිම අතක් ඒ වෙද්දි ලැබෙනවා.නමුත් ඇය ටිකක් මහත් වුණු නිසා ඒ කෘතිම අත ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙද්දි ඇය ෂෝල් එකක් දාලා තමයි බාහිර සමාජයට යන්නේ.

ඔන්න මේ විදිහට නීතිඥ ක්ෂේත්රයේ තුළින් පරිපූර්ණ වූ ඇය සම්මුඛ පරීක්ෂණයකට යන්න යන්න සූදානම් උනා.ඒක හරිම සුන්දර දවසක්. ඒ වගේම බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන එළියට බැහැපු දවසක්.

“මම සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා ඒ ආයතන ප්‍රධානියෙක් මේ බලන්න මෙන්න මෙහෙමයි අතක් නැතිව වැඩ කරන්නේ කියලා මට කරලා පෙන්නුවා. ඇත්තටම ඒ වෙද්දි මනසින් වැටිලා හිටිය මට ඒක ලොකු ශක්තියක් වුණා.ඒ ආයතනය වැඩ කරපු ගොඩක් දෙනෙක් ඉතාමත් හොඳට මට සැලකුවා. “

ඒ විදිහේ කාරුණික හදවත් තියෙන මිනිසුන් සිටිනවා වගේම තවත් අවස්ථාවන් වල දී මේ තියෙන වැඩවල හැටියට අතක් නැති කෙනෙක් මේ ආයතනයට ආවොත් කොහොම හිටීද කියලා කතා කියපු පිරිසත් ඒ අතර හිටියේ නැතුවාම නෙවෙයි.

ඇය වර්තමානය වන විට රැකියා කීපයකටම ඉල්ලුම් කරලා තියෙනවා.නමුත් ඒ කිසිම ආයතනයකින් මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ඇය උත්සාහය අත්හරින්න සූදානමක් නෑ. ජීවිතය දිගටම දරන්නට තමයි අචලා ඇප කැප වෙන්නේ.

වසංගත රෝගී කාලසීමාව තුළදී ඇය පෞද්ගලික මූල්‍ය ආයතනයක නීති කටයුතු භාර නිලධාරිනියක් විදිහට සේවය කරනවා.නමුත් ඒ කාල සීමාව නිසා 2020 දී ඇයට ඒ රැකියාව අහිමි වෙනවා. වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසාත් ශල්‍ය කර්මයක් අතරතුර ඇගේ අතේ කොටසක් අහිමි වීම යන චෝදනාව මත අචලා වෙනුවෙන් රුපියල් ලක්ෂ 70 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන්නත් රජය තීරණය කළා.

ලක්ෂ හැත්තෑවක් වැනි මුදලකට ඇගේ මනස වත් ඇගේ අත වත් යලි පෙර පරිදි හදන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.ඒ කෙසේ වෙතත් මනුස්සකම් පිරුණු මේ ලස්සන ලෝකේ නොමිනිසුන් කීප දෙනකු අතරින් පතර සිටියත් ලස්සන හදවතක් තියෙන ධෛර්ය සම්පන්න අචලා නැමැති මේ අපූරු තරුණියට මේ ආවා වගේම දහසකුත් දේ දරාගෙන වර්තමානයේ සිට අනාගතය දිනන්නට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්