ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් අගමැති පදවිය දරමින් සය වතාවක් තම සිහිනය පෙනි පෙනී එය අතහරින්නට සිදු වූ ඔහු අවසානයේ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය.

උපායන් උරුම කොට ගත් උපතක්

1949 වර්ෂයේ එඩ්ස්මන් වික්‍රසිංහට හා නාලිනි විජේවර්ධනට දාව, රනිල් වික්‍රමසිංහ ලෙස උපන් ඔහුට තමාට අවශ්‍ය ලෙස ජනමතය වෙනස් කරගන්නා අයුරු උපතින්ම දායාද වූයේ , එවකට ලේක් හවුස් මාධ්‍ය ලෝකය පාලනය කරමින් ජනමතය තමන්ට වාසිදායක වන අයුරින් නිර්මාණය කිරීමට මෙහෙයුම් දියත් කළ තම පියාගේ ආභාෂයෙනි.

රනිල් වික්‍රමසිංහ සිය දෙමව්පියන් සමග

තම මූලික අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ඔහුගේ ළමා විය මිතුරන් වූයේ පසුකළෙක තමා සමග එකම පාර්ලිමේන්තුව නියෝජනය කළ , අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන වැනි ප්‍රභල දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයන්ය.

රනිල් වික්‍රමසිංහ කුඩා වියේදි

 

පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව කොළඹ සරසවියේ නීති පීඨයෙන් හා  ශ්‍රී ලංකා නීතී විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු, 1977 වර්ෂයේදි, එනම් වයස අවුරුදු 28 දි බියගම ආසනයෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට පිවිසි අතර, එම වර්ෂයේදීම සිය මාමණ්ඩිය වන ජේ ආර් ජයවර්ධන  රජයේ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ මෙරට දේශපාලන තුළ එදා මෙදා තුර සිදු වූ බොහෝ සිදුවීම් වලට සාක්ෂිකරුවෙකු හවුල් කරුවෙකු වීමේ ගමන ආරම්භ කරමිනුයි.

ජනපති සිහිනය සැබෑකරගන්නට තමාට වයස අවුරුදු 73 ක් වනතෙක් ඉවසීමට සිදුවුවද,  ඔහු සිය දේශපාලන ගමනේ අත්පොත් තබා ඉතාමත් කෙටි කාලයක් තුළදි  අධ්‍යාපන, යෞවන සහ තරුණ කටයුතු භාර කැබිනට් ඇමති පදවිය දැරීමට තරම් හැකියාව ලැබුණු අයෙකි.

එම ධූරයේ වැඩ බාර ගැනීමත් සමග එවකට එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය අනෙකුත්  සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව ඔහු විසින්ද “යොවුන් පුරය” ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර, එමගින් මෙරට අධ්‍යාපනය අවසන් කළ , රැකියා විරහිත තරුණ ප්‍රජාවට විවිධ  අංශවලින් සිය කුසලතා දැක්වීමට අවස්ථාවක් ලැබිණි. 

ධවල පත්‍රිකාවේ භීෂණය

රනිල් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි කාලයේ ඔහු විසින් “අධ්‍යාපන ධවල පත්‍රිකාව” නමින් යෝජනාවලියක් ඉදිරිපත් කලැ අතර, එය එවකට පාසල් , සරසවිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව විවිධාකාර වෘත්තීය සමිති වලද දැඩි විවේචනය ලක් විය .

989 වන විට ඔහු මෙරට  පාර්ලිමේන්තුවේ සභානායකවරයාද විය

මෙරට අධ්‍යාපනය ක්‍රමයට නව ප්‍රතිසංස්කරණ කිහිපයක් එක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ලෙස එයට ඉදිරිපත් වූ දැඩි විවේචන හේතුවෙන්ම එයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාර වල හා විවිධ වෘත්තීය සමිති වල නැගී සිටීම ප්‍රභල වූ අතර, පසුව එයට එරෙහි වන්නන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය බලය යෙදවූ බව නොරහසකි.

ඒ සියල්ල ඔහු ක්‍රියාකාරි දේශපාලනයට එක්ව දශකයකටත් අඩු කාලයක් තුළ සිදුවූ සිදුවීම් වන අතර, 1989 වන විට ඔහු මෙරට  පාර්ලිමේන්තුවේ සභානායකවරයාද විය.

බටලන්ද හා රනිල්

රනිල් තරම් මෙරට දේශපාලනය තුළ වැඩි වශයෙන් කතා බහට හා චෝදනාවන්ට ලක්වූ චරිතයක් නොමැති තරම්ය. එලෙස ඔහුට එල්ල වූ චෝදනා අතරින් ප්‍රභලම චෝදනාවක් වන්නේ බටලන්ද වධකාගාරය හා බැඳුනු චෝදනවයි.

එහිදි 1988 හා 1989 භීෂණ සමයේ කිරිබත්ගොඩ මාකොළ සපුගස්කන්ද ආසන්නයේ පත්වාගෙන ගියා යැයි කියන බටලන්ද නම් වධකාගාරයක් රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් බොහෝ දෙනෙකුගේ අනුදැනුමින් පවත්වාගෙන ගිය බවටද, රනිල් වික්‍රමසිං එම වදකාගාරයට නිතර ආගිය බවටද චෝදනා එල්ල වූ අතර, එම වධකාගාරය තුළ මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත සිය ගණනක් අවසන් වූ බවටද චෝදනා එල්ල වේ.

පසු කළෙක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයෙහි රනිල් වික්‍රමසිංහ විසින් එම චෝදනා සම්බන්ධයෙන් “බටලන්ද කොමිසම” ඉදිරියේ සාක්ෂි ලබා දුන්නද , ඔහුට එරෙහිව එම චෝදනාව අදටත් රට වැසියන් මෙන්ම දේශපාලඥයන් විසින්ද සිදු කරනු ලබයි. 

මුල් වරට අගමැති පුටුවට

1993 මැයි පළමුවනදා සිදුවූ හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ ඝාතනයත් සමග , ඔහුගේ තනතුර සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන්  ඩී බී විජේතුංග මහතා පත් වූ අතර, අගමැතිවරයා ලෙස පත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. 

නමුත් 1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති පදවියට පත්වීමත් සමඟ ඔහුට විපක්ෂ නායක ධූරය දරමින් කටයුතු කිරීමට සිදු වූයේ ඔහුගේ පළමු අගමැති ධූර අත්දැකීම වසරක් වැනි කෙටි කාලයකට සීමා කරමිනුයි.

රජ පුටුවට ආ ගමන

කෙසේ වෙතත් ඉහළට යන  තම සිහිනය අත නොහැරි ඔහු 1999 වර්ෂයේදි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, එය පරාජයට පත් වූ නමුත් නැවත 2001 මහ මැතිවරණයට ඉදිරිපත්ව එයින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරයට පත් විය.

එසේ වුවත් එම වාරයෙදිත්  නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම  හේතුවෙන් අගමැති සිය අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත මාරු වෙනු බලා සිටීමට සිදු වූ අතර, 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව මහින්ද රාජපක්ෂ හමුවේ පරාජයට පත්වී, තම සිහිනය වෙනුවෙන් වසර දහයක් පුරාවට 2015 තෙක්  විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේය.  

නැවත වරක් 2015 දි මහින්ද රාජපක්ෂ පරදා සිය පක්ෂයේ සහයෝගයෙන් ජනපති බවට පත්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති ධූරයේ දිවුරුම් දුන් අතර, නැවත වරක් දින 59 ක කාලයක් සඳහා සිය ධූරය අතහැරීමට සිදු වූයේ ඒ කාලය තුළ ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් පසුකාලීනව තම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ  අභ්‍යන්තර ගැටුම් හා විවිධ අර්බුද හෙතුවෙන් 2020 මහ මැතිවරණයේදි පාර්ලිමේන්තු ජන්දයෙන් පවා පරාජය වීමට සිදු වූ අතර,එවර ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය සිදු වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති ධූරයේ දිවුරුම් දීම

කෙසේ නමුත් පසුගිය මැයි 9 වනදා ගෝල්ෆේස් අරගල භූමියේ හා රට වටා ඇතිවූ කලබලකාරී සිදුවීම් හමුවේ මහින්ද රාජපක්ෂ විසින් සිය අගමැති ධූරය අත්හැරීමත් සමග ඔහුට නැවත වරක් රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් තම අගමැති සිහිනය සැබෑ කර ගැනීමට හැකි වූ අතර, පසුව වැඩබලන ජනාධිපති ධූරයේ සිට විධායක ජනාධිපති ධූරය දක්වා ඔහුව රැගෙන ආවේය.

බැඳුම්කරය, සාම ගිවිසුම  හා පාස්කු ප්‍රහාරය

රනිල් වික්‍රමසිංහ අද මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අතර, නමුත් ඔහුගේ දේශපාලන ගමන් මග තුළ මග හැරිය නොහැකි තවත් සිදුවීම් කිහිපයකි මහ බැංකු බැඳුම්කර වංචාව, සාම ගිවිසුම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා.

මෙහිදි LTTE  සංවිධානය සමගින්  ඇතිකරගත් සටන් විරාම ගිවිසුම සහ සාම ක්‍රියාවලිය හේතුවෙන්  රටේ බෙදීමක් ඇති වූ බට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, නමුත් ඇතැම් විශ්ලේෂකයන් දක්වන්නේ එමගින් කොටි සංවිධානය යම් තරමක පසු බෑමකට ලක් වූ බවයි.

එමෙන්ම 2015 පාලන සමය තුළ මෙරට සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවක් වන ශ්‍රී ලංකා මහ බැංකුව තුළ බැඳුම්කර වංචාව සම්බන්දයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, එහිදි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා තවත් බොහෝ පිරිසකට එල්ල වී ඇති චෝදනා පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

රනිල් හා අර්ජුන් මහේද්‍රන්

තවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කළ වගකීම් විරහිත ස්වරූපය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා හටද ඒ ලෙස චෝදනා එල්ල වන අතර, කෙසේ නමුත් ඔහු විසින් මීට ටික දිනකට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි.

අලියෙක් පාලනය කරන ඇත්ගොව්වෙක්

රනිල් හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන සම්බන්ධය මේ වන තෙක් කිසිවෙකුට බිඳිය නොහැකි වූ අතර, ඔහුගේ පක්ෂ නායකකමට තිබූ දැඩි ඇල්ම මෙරට ප්‍රභලම දේශපාලන පක්ෂය දෙකඩ කිරීමක් දක්වා ගෙන ගියේය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව තමාට හිමි වූ ස්ථානය රැක ගැනීම සඳහා ඔහුට විටෙන් විට ගාමිණී දිසානායක හා  ලලිත් ඇතුලත්මුදලි සමගද සටන් කිරීමට සිදු වූ අතර, 2005 අනතුරුව කරූ ජයසූරිය කණ්ඩායමක් සමග එක්සත් ජාතික පක්ෂය හැරදා මහින්ද කඳවුරට එක් වුවද, එය තාවකාලික බිඳීමක් වූ අතර, පසු කාලීනව සජිත් ප්‍රේමදාස හා ඔහු අතර පැවති තරගය එක්සත් ජාතික පක්ෂය දෙකඩ කොට සමගි ජන බලවේගය නමින් නව පක්ෂයක් බිහි වීම දක්වා තියුණු විය. 

කෙසේ වෙතත් දශක 4 කට වැඩි  ඔහුගේ දේශපාලන ඉතිහාසයේ කූඨප්‍රාප්තිය  තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙරට අටවන විධායක ජානාධිපතිවරයාගේ දිවුරුම් දීමෙන් අනතුරුව සිදු වනු ඇත.

වයස 28 දී තරම් තරුණ වයසේදී දේශපාලනයට එළඹ 6 වරක් අග්‍රාමාත්‍යවරයා ලෙසද තවත් 6 වරක් විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කරමින් සිය දේශපාල ගමන මෙතෙක් අත් නොහැරි ඔහු අදින් පසුව 2024 නොවැම්බර් මස වන තෙක් මෙරට විධායක ජනාධිපති ධූරය හොබවනු ඇත.

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්