තමා විසින් මාස හයක් තුළ රට නගා සිටුව හැකි බවට  සඳහන් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  මහතා කියා සිටියි.

අද (5) පාර්ලිමේන්තුවේදි අගමැතිවරයා විසින් ඔහු හට රට බාර ගන්නා ලෙස  සිදු කළ යෝජනාවට පිළිතුරු දක්වමින් ඔහු  මේ බව සඳහන් කර සිටි අතර, එහිදි තව දුරටත් ප්‍රකාශ කරන්නට යෙදුනේ, ආර්ථික වශයෙන් රට මුහුණ දී සිටින දරුණුතම තත්වය හමුවේ තමා විසින් සඳහන් කරන්නට යෙදුනේ මාස හයක් තුළ රට නගා සිටුවීම හැකි බව නොව, ජන ජීවිතය පෙර තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවයි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ අග්‍රමාත්‍ය වරයා හට ” තමාට වාසි සහ කැමති කෑල්ල පමණක් ඇහෙන පුරුද්දක්” ඇති බවය.

“අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ, මා විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු විටෙක විහිලුජනක ස්භාවයෙන්ද, තවත් විටෙක යම් ඉඟි බිඟි වලින්ද යම් උත්තරයක් ලබා දෙනු ලැබුවා. මේක අලුත් යෝජනාවක් නෙවෙයි, පසුගිය මැයි මාසේ 11 වනදා අපි මේ රටට ඇතිවී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා.ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විත වුණා.

මේ ආණ්ඩුවත්, මේ ජනාධිපතිවරයාත් ඉවත් වී අපට භාර දෙනවා නම් අපි කැමති ඇමති මණ්ඩලයක් මේ 225 තුළින් හදාගෙන ආණ්ඩුවක් කරන්න අපි බාරගන්න ලෑස්තියි. ඒ නිසා කවුරුහරි හරි කිව්වා නම් අපි බාර ගන්න ලෑස්ති නෑ කියලා, අපි බාරගන්න ලෑස්තියි කියලා තියෙන්නේ මැයි මාසෙ එකොළොස් වැනිදා. ගොඩක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ, විශේෂයෙන්ම අගමැතිවරයාට එතුමා කැමති කෑල්ල, ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමාට ඇහෙන පුරුද්දක් තියෙන බව මම කාලාන්තරයක් තිස්සේ දන්නවා .

දෙවැනි යෝජනාව වුණේ ඒකට අපිට ඉඩ දෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් හදා ගන්නවා නම් ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් සහ කාල රාමුවක් ඉදිරිපත් කරනවානම් කරනවා නම් විපක්ෂයේ ඉඳන් අපි සහය දෙන්න ලෑස්තියි. මේක තමයි අපේ යෝජනා දෙකේ අඩංගු. ඒ මැයි මාසෙ එකොළොස් වැනිදා.”

යනුවෙන් ප්‍රකාශ කර සිටි ඔහු තව දුරටත් දක්වා සිටියේ, රට අද මුහුණ දී ඇති උග්‍ර ගැටළුකාරී වාතාවරණයට වැඩි වශයෙන් වගකිවයුතු වන්නේ මෙරට දේශපාලන සංස්කෘතිය බවයි.

“හැබැයි මැයි මාසෙ එකොළොස් වැනිදා ඒ යෝජනා සංවාදයට භාජනය වෙන්නත් කලියෙන්  හිටිහැටියේ නව අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබ තුමා දිවුරුම් දුන්නා. එතකොට ඒ යෝජනා සංවාදයට භාජනය වුණේ නෑ. අපි කියන්නේ මොකක්ද, අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී මුහුණදී තිබෙනවා. මේ ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළ මතුවූ අර්බුදයක් නෙවෙයි. මේ දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියත් ඒ ආර්ථික ප්‍රතිපත්තිය හා ගැටෙන දේශපාලන සංස්කෘතියත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කළේ. බොහෝ අය උපුටා දක්වන්නට උත්සාහ කරනවා මේ අර්බුදය ආර්ථික කොටස, හැබැයි බොහෝ අය මේ අර්බුදය දේශපාලන කොටස සඟවන්න උත්සාහ කරනවා. අපේ රටේ බොහෝ සංවර්ධනය යැයි කියන ව්‍යාපෘති සිදු වුණේ අපි හදා ගන්නා ලද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකට නොවෙයි. අපි හදා ගන්නා ලද ආර්ථික උපාය මාර්ගයක නම් හම්බන්තොට වරාය කොතනද තියෙන්නේ ? පිරිපහදුව කොතනද තියෙන්නේ ? අපි හදාගන්න ආර්ථික ආර්ථික උපාය මාර්ගය උඩින් තියෙන්නෙ පිරිපහදුව. ඒ වෙලාවේ පිරිපහදුවට යන්නේ ඩොලර් බිලියනයයි. හම්බන්තොට වරාය ඩොලර් බිලියන එකයි දශම තුනයි. එහෙනම් පිරිපහදුව යට ගිහිල්ලා වරාය උඩට එන්නෙ කොහොමද ? සල්ලි, කොමිෂන්, දේශපාලන සංස්කෘතිය, වංචාව. ඒ නිසා මේ අර්බුදය ලොකු පංගුවක් තියෙනවා. කොතනත් කවුරුත් මේ අරබුදයේ හේතු දක්වන්න දක්වන්නේ ආර්ථික සාධක, හැබැයි මේ අර්බුදය විශාල පංගුවක් නිර්මාණය කරලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය.

අද අපේ රටේ සිදුවී තිබෙන මහා කොන්ක්‍රීට් ඉදිකිරීම්. මේවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වුණ සංවර්ධන උපාය මාර්ග ද, ඒව ජන ජීවිත ඉහළට ගෙනියන්න බලපෑමක් වුණා ද, කිසිවක් නෑ. පාළු වෙච්ච පාරවල්, හිස් ගොඩනැගිලි, ලොකු කොන්ක්‍රීට් වනාන්තර, විශාල දිසාපති කාර්යාල මොකක්ද මේ සිදුවී තිබෙන්නේ, මේවා අස්සේ මේ ඔක්කොම ගියේ දේශපාලන සංස්කෘතිය, වංචාව, දූෂණය, නාස්තිය, වරප්‍රසාදලත් දේශපාලනය. මා යෝජනා කරන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ලෑස්තිය අපිට භාර දෙනවා නම්, ඒක තමයි එක.”

එමෙන්ම එහිදි තව දුරටත් ප්‍රශ්න කර සිටි ඔහු   ජනවරමක් නොමැතිව වත්මන්  අග්‍රමාත්‍යවරයා විසින් අගමැති ධූරය දැරීම යුක්ති සහගතද යනුවෙන් විමසා සිටියේය.

“ඔයගොල්ලො කරනවා නම් මොකක්ද කරන්නේ කියලා මාස හයක න්‍යාය පත්‍රයක් දෙන්න. ඒ  න්‍යාය පත්‍රයෙන් පස්සේ මහ ඡන්දයකට එන්න. මං මේ අග්‍රමාත්‍ය ධූරය බාරගත්තත්, ඔබ බාරාගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ, ඔබටත් මටත් මේ පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්න. අඩුම තරමේ මට ජනවරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ජනවරමක් තිබ්බෙත් නෑ. එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරයේ දින නියමයක් නැතිව අවසන් වෙන කාලවකවානුවක් නැතුව පාලනය කිරීමෙන් යුක්තිසහගත වන්නේ කෙසේද ? සාමාන්‍යයෙන් පුවත්පත්වල ලියන්න ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා හැබැයි මම අහනව ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට කොතනද ඒක අනුකූල වන්නේ.”

යනුවෙන් විමසා සිටි ඔහු අවසන් වශයෙන් කියා සිටියේ ජන ජීවිතය මාස හයක් තුළ යථාවත් කොට ඉන් අනතුරුව මහ මැතිවරණයකට යෑම අනිවාර්‍ය බවයි.

“මම මොකද්ද මාස හයෙ වැඩසටහනෙන් කියන්නේ, මම කියන්නේ නෑ මේ දශක හතරක කාලයක් ගමන් කරමින් තිබුණ මේ ආර්ථික මාවතේ බිහිසුණුම  පිපිරීම මේ ආර්ථිකයේ සිදුවෙලා තියෙන්නේ. ඒක මාස හයෙන් හතෙන් ගොඩනැගීම විශ්වාස කරන්නේ නෑ. කවුරුවත් එහෙම විශ්වාස කළ යුතුත් නෑ. හැබැයි මාස හයක් ඇතුළත මූලික දෙයක් තියෙනවා කරන්න. මිනිස්සුන්ට තෙල් ටික ලබාදීම, ගෑස් ටික  ලබාදීම, ඖෂධ ටික ලබා දීම, පාසල් ටික විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්තශාලා වැසීමට යන්න තියෙන අනතුරු වලක්වා ගැනීම, ධීවරයන්ට බෝට්ටු යෑමට අවස්ථාවක් නිර්මාණය කරලා දීම, ගොවීන් නැවත කුඹුරට බැස්සවීම, සමාජයේ යථාවත් භාවයට ගේන ඒක මස හයෙන් කරන්න ඕනි. ඔබතුමා කියන්නේ එක මාස හයෙන් කරන්න බෑ කියලද ? ඒ කියන්නේ මාස හයකට වැඩි කාලයක් මිනිස්සු පෝලිමේ මැරෙන්න ඕනෙද?

මම කිව්ව ඒ සාමාන්‍ය තත්ත්වය අපි කෙටි කාලයක් ඇතුළත ඇති කරන්නම්, අනතුරුව මාස හයෙන් පස්සෙ මැතිවරණයකට යමු. ඇයි මං මැතිවරණයක් ඉල්ලන්නේ මොකක් නිසාද, මේ අර්බුදයෙන් ගොඩ එන්න ස්ථාවර පාලනයක් පමණක් නෙවෙයි විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි. විශ්වාසනීයත්වය කඩාවැටුණු පාලනයකින් අර්බුදයට විසඳුම් හොයන්න බෑ.”

 

මෙන්න බලන්න තවත් පුවත්