මා මෙය ලියන්නේ තිරිඟු යායක් මැද තරු පිරි අහසක් යට සිටය, ජීවිත කාලය පුරාවටම මා වෙළාගෙන පැවති ශෝකය අවසන් කරන්නට මේ හොඳම හෝරාවයි. නමුදු දැන් මා සිටින්නේ කිසිදු හැඟීමක් නොදැනෙන අවස්ථාවක, මා වටා තියෙන්නේ ශෝකයක්ද, සැනසීමක්ද, සතුටක්ද මේ කිසිවක් මට හරිහැටි තේරුම් බේරුම් කර ගැනීමට නොහැකියි,

නමුත් මා එක දෙයක් දනිමි, ඒ මම දැන් සිටින්නේ, සියළු වර්ණයන් කැටිව එකට කැළුම් දෙන තරු පිරි අහසක් යටයි.

 

ශෝකය, මා වටා පැවති ශෝකය කිසිදාක අවසන් වූවක් නොවේ, සෑම විටම මා වෙලාගෙන පැවති ඒ අළු පැහැති හැඟීම හේතුවෙන් ලෝකයා ඇතැම්විට මා උමතු පුද්ගලයෙක් ලෙස හැඳින්වූ බව මම නොදන්නවාද නොවේ. ඒ පිළිබඳව කතා කිරීමට මේ අවස්ථාව නොවුණත් ඔබ දැන සිටි පරිදි මා උමතුවෙන් නොවේ. මට ඇත්තේ කිසිදාක මා හැර නොයන තනිකමක් හා ශෝකයක් පමණි.

මට මේ සිතුවම් කලාව ලැබුණේ මාගේ මව්ගෙන් බව විශ්වාස කරමි, ඇනා කොර්නේලියා කාර්බෙන්ටස් නම් වූ ඇය සතුව සිතුවම් ඇඳීමෙහිලා අපූරු දස්කමක් විය. ඔබ නොදන්නවාට මා ඇඳි සිතුවම් ප්‍රමාණය දහසකට වැඩිය.

නමුත් ඒවා මා මෙන්ම අළු පැහැති ශෝකී තිරයකින් වෙලී කිසිදු ගැනුම්කරුවෙකුගේ ඇස නොගැටීම ඔහේ තිබෙනු දැකීම මට වඩා වේදනාව ගෙන දෙන්නේ මගේ ප්‍රියතම සොයුරු තියෝටය, මගේ මේ සිතුවම් නොවිකිණීම හේතුවෙන් ඔහු පවා වැටී සිටින්නේ එසේ මෙසේ ආගාධයකට නොවෙයි.

 

මට වැදගත්ම දෙයක් අමතක විය, ඒ මා කවුද යනුවෙන් හඳුවාදීමට, මා වින්සන්ට් වැන් ගෝ නම් වෙමි. ජීවිත කාලය පුරාවට සිතුවම්කරණයෙහි නියැළුනද ඉන් කිසිවක් උපයා ගන්නට සමත් නොවූ 37 හැවිරිදි වියේ පසුවන මරණය බලාපොරොත්තුවෙන් තිරිඟු යායක වැතිර තරු පිරි රාත්‍රී අහස දෙස බලා සිටින මිනිසෙක් වෙමි.

 

ඔබ නොදන්නවා වුණාට මෙ මේ තිරිඟු යායට පැමිණියේ මාගේ අවසාන මොහොත වෙනුවෙනුයි. තව ස්වල්ප වේලාවකින් මාගේම අවියෙන් නික්මෙන උණ්ඩය මගේ ළය පසාරු කොට ගෙන ගොස් මේ ශෝකයෙන් මා මුදාගනු ඇතිය.

 

මීට වසර දෙකකට පමණ පෙර සිදුවූ සිදුවීම හේතුවෙන් මා උමතු වූවෙකු ලෙස සැලකුවද, මා විසින් මාගේ කණ කපා ගැනීම ගැන මම මේ අවසන් මොහොතේ වුවද නිහඬව සිටින්නට තීරණය කළෙමි, නමුත් මා විසින් මාගේ කණ ඒ කාන්තාව වෙත ලබා දීම පිළිබඳව නම් මට ඇත්තේ පසුතැවීමකුයි.

 

මා ප්‍රේමය සෙවූවද, ප්‍රේමය විශයෙහි මා සෑම විටම අසමත් වූවෙක් වෙමි, ඒ සමගම තියෝ විවාහ වීම හේතුවෙන් මම තවත් තනි වීමි. දැන් මා සමග ඇත්තේ, දුප්පත්කම, තනිකම හ ශෝකය පමණි.

 

කලාකරුවෙකු වීම ගැන පසුතැවීමක් නොවුනද, මට සිතෙන්නේ කලාකරුවෙකු වීම දුප්පත්කමට අත වැනීමක් ලෙසයි. මීට වසර කිහිපයකට පෙර මා විසින් සිතුවමට නගා  මුල්ලක බහා තිබෙන “The Potato Eaters” සිතුවමේද මා නිර්මිත කලේ ඒ දුගී භාවයයි.

The Potato Eaters

 

මට මා ඇඳි සූරියකාන්ත කුසුම් මෙන් හිනැහෙන්නට කැමත්තක් තිබුණද, වැහිබර අහසක රැඳි අඳුරක් මෙන් ආ ශෝකය මගේ ජීවිතය පුරාවට මට සතුට යන වචනය පවා අහිමි කර තිබේ.

 

Sunflowers

 

නමුදු ඔබ නොදන්නා සත්‍යයක් ඇත, ඒ මා මෙම ශෝකයට ප්‍රේම කිරීමයි.

ඔව්, මම , ශෝකය ප්‍රේම කරමි, ශෝකය හා මා අතර ඇති කිසිදා නොබිඳෙන බැඳීමට මම ප්‍රේම කරමි.

 

මාගේ මේ කෙටි ජීවිතය තුළ මා ඇඳි වඩාත්ම ප්‍රිය කරන සිතුවම් මොනවාදැයි ඇසුවහොත් මට එයට පිළිතුරු දීමට නොහැකිය. නමුත් මා මාගේම සිතුවම් ඇඳීමෙන් මහත් ආශ්වාදයක් වින්දෙමි.

වැන් ගොග්ගේ ස්වයං සිතුවමක්

එමෙන්ම හිස් අහස අඳිනා විටද මට දැනෙන්නේ එබඳුම ආශ්වාදයකි, එය හරියටම මා මාගේ චිත්ත අභ්‍යන්තරය සිතුවමට නගනවාක් වැනි හැඟීමකුයි.

 

 

ඉදින් මේ එළඹෙන්නේ මගේ කෙටි දිවිය තුළ මා සොයාගත් සැනසුම ලබා ගන්නා හෝරාවයි. තව මොහොතකින් මගේ අවසාන  සුසුම මේ වා තලයට එක් වනවාත් සමගම මා මෙතෙක් කල් විඳි පීඩාවන් සියල්ල අවසන් වනු ඇත. 

 

ළය පසාරු කරගෙන ගිය උණ්ඩය සමග දරාගත නොහැකි වේදනාවක් දැනුනි, මට අවසන් වරට මතක, පියවෙන ඇස් වලින් යාන්තමට දුටු බොඳීවී යන තාරකාවන්හි එළිය පමණකි.

 

නමුත්, නමුත් බලාපොරොත්තු වූ ලෙසට මා මිය ගොස් නැත.මගේ අවාසනාවට ඒ පාළු දුක්ඛිත ජීවිතය තුළ මා නැවතත් හුස්ම ගනිමින් සිටිමි. තිරිඟු යායේ සිට මා වෙසෙන කාමරයට ගියේ කෙසේදැයි මට මතක නැත. නමුත් නැවත සයනයක් මත සිට ඇස් අරින විට මා දෙස ශෝකයෙන් බලා සිටින තියෝගේ මුහුණ ජීවිතය හැර නොයෑමට බැරි කුමක්දෝ හැඟීමක් ගෙන ආවේය.

 

වෛද්‍යවරුන් කියන්නේ තුවාලයේ වේදනාවට මට උණ ගැනී ඇති බවය. නමුත් මට මේ අවස්ථාවේ දැනෙන්නේ හිසේ සිට පාදය තෙක් ගිණි ගොඩක බහා දවනවාක් වැනි හැඟීමකුයි. මම දනිමි, උණ්ඩයකට නොහැකි වුවද මාගේ ශෝකය අවසන් කිරීමට, මාගේ ශරීරය වෙලාගෙන සිටින මේ වේදනාව ඉතාමත් නුදුරු මොහොතක මාගේ ශෝකය අවසන් කරනු ඇත.

 

මම යළිත් වරක් ජීවිතය දෙස හැරී බලමි, මා ඇඳි සිතුවම් ඇතැම් විට කිසිදු විශේෂත්වයක් ඇති ඒවා නොවෙන්නට ඇත. නමුත් මා විසින් ඒවා සිතුවමට නගනු ලැබුවේ හදවත පතුලෙන්ම ආ හැඟීම්වලිනුයි. 

තියෝගේ දෑත මාගේ හිසෙහි ස්පර්ශ වනු දැනේ, ඔහු මාගේ සහෝදරයා පමණක් නොව මේ ජිවිත කාලය පුරාවට මගේ සහයකයාද , හොඳම මිතුරාද විණි.

 

හදවතෙහි මහා හිස් බවක් දැනේ, හුස්ම ගැනීම අපහසු වුවද, තියෝ කණට කර මුමුණන හඬට සවන්දෙමි. ඔව්, ඔහු මට කියන්නේ අහස දෙස බලන ලෙසය, මම බලමි, කෙමෙන් බොඳ වෙමින් යන මගේ දෑස් තුළට හසු වූයේ ජීවිත කාලය පුරාම මා ආසක්ත කළ දර්ශනයි, ඒ තරු පිරි අහසයි, මම එදා සිතුවමට නැගි අහස මා එනතුරු බලා සිටියි, ඔව් මම යමි, සදාකල්ම පවතින ශෝකය මේ මහ පොළව වෙත අතහැර මම ඒ සංතෝශ හැඟීම් පිරි ජීවිතය ඇති අහසට යමි.

 

starry night

 

වින්සන්ට් වැන් ගෝ නම් ඒ මහා කලාකරුවාගේ මරණයෙන් වසර 132 කට පසුව,ඔහුගේ සිතුවම් රස විඳින රසිකයෙක් ලෙස මෙසේ සටහන් කරමි.

එදා ඔහු දැන සිටියානම් දිනක ලෝකයේ ඔහුගේ සිතුවම් වලට ඔහු කිසිදා අපේක්ෂා නොකළ තරම් මිලක් නියම වන බව, ඔහු මහා සිත්තරෙකු වශයෙන් පිළිගැනෙන වග, නැත මා සිතන්නේ ඒ බව දැන ගත්තද, ඒ කිසිවකට ඔහු වටා පැවති ශෝකය නැති කිරීමට නොහැකි වෙනු ඇත.

අද අප සිතුවම් ලෙසින් රසවිඳින්නේ එදා ඔහු වෙලා පැවති ශෝකයයි, එබඳු ශෝකයක් ඔහු හා බද්ධ වී නොතිබුණානම්, මෙතරම් මහර්ඝ නිර්මාණයන් ඔහු අතින් නිර්මාණය නොවෙනු ඇතියි.

මම විශ්වාස කරමි, ඔහු දැන් ශෝකය නොමැති ජීවිතයක හිරු නැගෙන අහසේ දීප්තියට පෙම් බඳිමින් සිටින බව, ඔව්, එවැනි සන්තෝශජනක ජීවිතයක් ලැබීමට ඔහු වෙසෙසින්ම සුදුසුයි. 

සටහන : අක්ෂි මාපා වීරසිංහ
මෙන්න බලන්න තවත් පුවත්