රුමේනියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

රුමේනියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම්වල ඇති ඇතැම් ගැටලු පිළිබඳවත් රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධවත් ශ්‍රමිකයින් මෙහිදී කරුණු දක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවට ද ඇමැතිවරයා සහතික වී තිබෙනවා.

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඩොලර් මිලියන 500ක මුදලක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ එවන්නේ නම්, ඩොලර් අර්බුදය නිසා රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැනටමත් බැංකු ක්‍රමය හරහා මුදල් එවන බව ශ්‍රමිකයින් පැවසූ අතර පහසුවෙන් රටට මුදල් එවීම සඳහා ලංකාවේ බැංකු ශාඛාවක් එරට විවෘත කරන ලෙසද ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමට ද ඇමැතිවරයා සහතික වුණා.

පසුගිය සතියේදී මනුෂ නානායක්කාර මහතා රුමේනියානු තානාපතිතුමන් සමග සාකච්ඡා කළ අතර එහිදී මතුවූ කරුණු පිළිබඳවත් ශ්‍රමිකයින් දැනුවත් කිරීමට කටයුතු කළා.

රැකියා මාරු කිරීමේදී ජාවාරම්කරුවන්ට හසු නොවිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

රුමේනියාවේ නීතියට අනුගතව කටයුතු කරමින් ලංකාවට වැඩියෙන් රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාගත හැකි අයුරින් කටයුතු කරන ලෙසයි ඇමතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්