තැන් තැන් වල කුඩා කණ්ඩායම් එක්ව ගෙන ගිය, පැවති පාලනයට එරෙහි විරෝධතාවයන් මහා ජන අරගලයක් ලෙසින් අප්‍රේල් 9 වනදා ගාලු මුවදොරින් ආරම්භ වෙද්දි, එදා පස්වරුව වන විට අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය  ජාලාවන්හි සංසරණය වනු දැකගත හැකි වූවා, එහි කළුපාට පසුබිමක සුදු පාට අකුරින් ඇඳි “පරිමාධිපත්‍ය බලය ජනතාව සතුය මොන කෙරුමා වුවත් එයට නතුය” යන වචන කිහිපය ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සිටි බලවත්ම  දේශපාලඥයන් කිහිප දෙනෙකුට සිය දේශපාලන ගමන නවත්වා දැමීමට හේතුවක් වීමට තරම් ප්‍රභල කාරණාවක් වූවා.

මෙරට ඉතිහාසය තුළ වැඩිම ජනතා ප්‍රසාදයක්, ජනතා ආකර්ෂණයක් දිනා ගත්, දකුණු ආසියාවේ පරිණතම දේශපාලඥයා යනුවෙන් හැඳින්වූ, හිටපු ජනාධිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා හට මෙන්ම , ඔහුගේ සොහොයුරා වූ මෙරට වැඩිම බලයක් හිමිවූ විධායක ජානාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හටද, ජනතාවගෙන් වසන් වී සිය ධූරයන් අත්හැරීමට සිදු වූයේ, ජනතාව සතු වූ පරිමාධිත්‍ය බලය, එකී බලය හිමි ජනතාව විසින් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම හේතුවෙනුයි.

මාර්තු විප්ලවය, ඔහුගේ අම්මා පොතේ එක්තරා තැනක මෙහෙම සඳහනක් තබනවා,

“සත්‍ය හා යුක්තිය සඳහා ඉදිරියට යන ළමයි ආදරය ගෙන යති. ඔවූහු අළුත් ජය ලබා ගනිති. නිවිය නොහැකි ආලෝකයක් පතුරුවා හරින්නේ ඉත සිතිනි. මුළු ලෝකයටම ආදරය කරන ළමයින් විසින් අළුත් ජීවිතයක් ගොඩ නගාවි . ඒ ආදරය නැති කර දැමිය හැක්කේ කාටද? එයටත් වඩා වැඩි බලයක් තිබේද? එය පාගා දැමීමට පුළුවන් කාටද? එය ජනිත කළේ මහ පොළොවයි. මුළු මහත් ජීවිතයම එහි ජයග්‍රහණය අපේක්ෂා කරයි. මුළු මහත් ජීවිතයම.”

 

මහ පොළොව විසින් ජනනය කරන ජනතාවගේ අරගල පාලකයන් සුණු විසුණු කරමින් ජයග්‍රහණයන් කරා ගමන් කරයි. එය විසි එක්වන සියවසේ අදටත්, මීට ශත වර්ශ ගණනාවකට එපිටින් රාජාණ්ඩු සමයේත්, ඉදිරි අනාගතයේදීත් සිදුවීමට නියමිත, සිදුවෙමින් පවතින, සිදු වූ සත්‍යයක්.

අද මෙම ලිපිය හරහා ඔබට ගෙන එන්නේ එලෙස පාලකයන් සිය පුටුවලින් ඉවතට තල්ලු කර දැමූ ලොව ප්‍රචලිත ජන අරගලයන් කිහිපයක් පිළිබඳවයි.

 

ඉතිහාසය වෙනස් කළ ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවය ලෙස පොදුවේ ගත් කළ 1787 පමණ සිට 1799 දක්වා දශයකට වඩා වැඩි කාලයක් පුරාවට ප්‍රංශයේ සිදුවුණු සිදුවීම් රාශියක් වන නමුත් එම සිදුවීම් මාලාවේ ප්‍රථම උච්චතම සිදුවීම 1789 වර්ෂයේ සිදුවූ බැවින් එය බොහෝ අවස්ථාවල “1789 විප්ලවය” ලෙසින්ද හඳුන්වනු ලබයි. එමෙන්ම පසුකාලීනව 1830 දී ප්‍රංශයෙන්  ආරම්භ වී යුරෝපය පුරා පැතිර ගිය මර්දකාරි රාජාණ්ඩුවලට එරෙහි විප්ලවයන්ටද “ප්‍රංශ විප්ලවය” ලෙස පොදුවේ හඳුන්වන සිදුවීම් මාලාව බොහෝ සේ බලපාන ලදී.

 

ප්‍රංශයේ වර්සෙල්ස් මාළිගාවේ වර්තමාන ඡායාරූපයක්
  • පීඩනයට එරෙහිව

ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක එකක් නොව කිහිපයක්ම ඇති අතර ඒවා කෙටියෙන් ආර්ථික, සමාජ හා දේශපාලන හිතු මෙන්ම දාර්ශනික මතවාද ලෙස හඳුනාගත හැකිය එහිදි, රජු සතුවූ අසීමිත බලය, රජු ගත කළ අධික සුඛෝපභෝගී ජීවිතය,රජු හා ජනතාව අතර තිබූ පරතරය යනාදිය හඳුනාගත හැකි අතර එහිදි රජු හා ජනතාව අතර තිබූ පරතරයට හොඳම නිදසුනකි, 16 වන ලුවී රජුගේ බිරිඳ “මාරි ඇන්ටනට්” බිසව විසින් “කේක් නැත්තම් පාන් කාපල්ලා” යනුවෙන් කළ ප්‍රකාශය. එවැනි ප්‍රකාශයක් කිරීමට තරම්, රජ බිසව  පාන්  වල මිලට වඩා කේක් වල මිල අධික බව නොදැන සිටීමට තරම් මාළිගාව හා ජනතාව අතර අති මහත් පරතරයක් පැවතිණි විශේෂයෙන්ම  ප්‍රංශයේ  රජු වාසය කළ වර්සෙල්ස් මාළිගාව කිසි කළකත් සාමාන්‍ය ජනතාවට විවර නොවූ අතර, එහි ඇතුළු වීමට අවසර තිබුණේ රදළ පිරිසට හා පූජකයන්ට පමණි, එහිදි රාජ්‍යයේ හා ජනතාවගේ තොරතුර රජු වෙත ගෙන ආවේ රදළයන් විසින් වන අතර, ඒවා සෑම විටම පාහේ ඔවුන්ගේ වාසියට ගෙතූ මුසා වලින් සැරසූ ප්‍රලාපයන්ම පමණක් විය.

XVI වන ලුවී රජු හා මාරි ඇන්ටනෙට් බිසව

මේ සමය වන විට ප්‍රංශයේ රජ පවුල හැරුණු විට, රදළයන්, පූජකයන් හා සාමාන්‍ය ජනතාව වශයෙන් ස්ථර තුනක් දැකගත හැකි වූ අතර, සාමාන්‍ය ජනතාව අතරද මධ්‍යම පාන්තිකයන්, ගොවියන් හා කම්කරුවන් වශයෙන් ස්ථර තුනක් දැක ගත හැකි විය. එයිනුත් මධ්‍යම පාන්තිකයන්ට හා ගොවියන්ට සිදුවූ අකටයුතුකම්ද ප්‍රංශ විප්ලවයට බොහෝ සෙයින් බලපාන ලදී.

XVI වන ලුවී රජුගේ හා මාරි ඇන්ටනට් බිසවගේ අවසන් මොහොත දැක්වෙන සිතුවමක්

තවද, රජ පවුලේ නඩත්තුව සඳහා වැය වූ අධික මුදල් ප්‍රමාණය හා අනවශ්‍ය යුධ වියදම් හේතුවෙන් භාණ්ඩාගාරය සතු වත්කම් හිඟවීමද ප්‍රංශ විප්ලවයට බලපෑ හේතුවක් වූ අතර,ආකාර්යක්ෂම හා සාධාරණ බදු ක්‍රමය මෙන්ම රූසෝ , වොල්ටෙයාර් හා මෙන්ටෙස්ක්‍යු වැනි දාර්ශනිකයන්ගේ මතවාද මෙන්ම ඇමරිකානු නිදහස් සටනට සහභාගි වූ සොල්දාදුවන් තුළ නිදහස පිළිබඳව ජනිතව තිබූ හැඟීම්ද ප්‍රංශය තුළ ජනතා පිබිදීමක් , ජනතා විප්ලවයක් ඇති කිරීමට ප්‍රභලවම බලපෑ සාධක විය.

  • සමාජ ප්‍රගමණයට දායක වූ ජයග්‍රහණ රැසක්

මෙකී හේතු මත ඇති වූ ප්‍රංශ විප්ලවයේ උච්ඡතම සිදුවීම 1979 වර්ෂයේ, ස්ටේට් ජෙනරල් සභාව කැඳවීමේ සිදුවීමත් සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ආරම්භ වූ අතර, එම වර්ෂයේ ප්‍රංශය මුහුණ දුන් මූල්‍ය අර්බුදය හේතුවෙන් වසර 175 කට පසුව කැඳවූ ස්ටේට් ජෙනරල් සභාව කැඳවීමේදි රදළයන් හා පූජකයන් එක් පිළක් ලෙස උත්තරීතර සභාවක් වදයෙන් කැඳවිට අවශ්‍ය බවට කළ ප්‍රකාශයත් සමග මධ්‍යම පාන්තිකයන් එයට විරුද්ධ වී  ටෙනිස් පිටියකට රැස්ව “ටෙනිස් පිටියේ දිවුරුම නමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට, රජුගේ ඒකාධිපති බලතල හේතුවන් දඬුවම් විඳි සිරකරුවන් රැඳී සිටි බැස්ටීල් බන්ධනාගාරයට පහර දී සිරකරුවන් නිදහස් කොට, අනතුරුව 16 වන ලූවි රජු මෙන්ම ඔහුගේ බිරිඳටද මරණ දඬුවම ලබාදීම  දක්වා දුර දිග ගියේය.

ටෙනිස් පිටියේ දිවුරුම දැක්වෙන සිතුවමක්

පාලකයන් අතින් අතිශය පීඩාවට පත් වැසියන් විසින් එසේ ඇරඹු ප්‍රංශ විප්ලවය හේතුවෙන් ලෝක ඉතිහාසයේ බොහෝ පරිච්ඡේදයන් වෙනස්කම් වලට භාජනය වූ අතර, ඒ අතර ප්‍රංශ විප්ලවවාදීන් විසින් 1791 වර්ෂයේ දී මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කිරීමත් සමග ලොව පුරා මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි උනන්දුවක් ඇති වීම.

  1. ප්‍රංශයේ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම.
  2. නව දේශපාලන ක්‍රමයක් බිහිවීම.
  3. ගොවියන්ට, කම්කරුවන්ට  සහන සැලසීම.
  4. ආගමික හා අදහස්  ප්‍රකාශ කිරීමේ නිදහස හිමිවීම.
  5. නීති සම්පාදනය සඳහා ජනතාවට මැදිහත්වීමට අවස්ථාව සැලසීම.

වැනි බොහෝ ජයග්‍රහණ විය.

ලෝකය කණපිට පෙරළු රුසියානු විප්ලවය

විප්ලවය හා රුසියාව යනු වචන දෙකක් වුවද, ඒවා තනි තනිව උච්චාරණය කළ නොහැකි තරමට රුසියානු විප්ලවය ජනතාවට සමීපය. සියවස් ගණනාවක් පුරාවට රුසියානු අධිරාජ්‍ය පුරා බලපැවති සාර්වරුන්ගේ ඒකාධිපති පාලනය, සාමාන්‍ය ජනතාව වෙත එල්ල වූ පල්ලියේ හා වංශාධිපතියන්ගේ පීඩන හස්තයන් සියල්ල දරාගනිමින් සිටි රුසියානු ජනතාව කබලෙන් ලිපට වැටුණේ, රුසියාව පළමු ලෝක යුද්ධයට එක් වීමත් සමගයි.

 

වී අයි ලෙනින්

කාලයක් පුරාවට  අළුයට ඇති ගිණි පුපුරු වශයෙන් පැවති ජනතා පීඩනය,  නිසි සැලැස්මක් සහිතව ” තේමාව වූයේ සාමය, ඉඩම් හා ආහාර” උදෙසා සටන් කිරමින් “පන්ති රහිත සමාජයක්” ගොඩ නැගීමේ අපේක්ෂාවෙන්  1917 වර්ෂයේ  මාර්තු හා ඔක්තොම්බර් යන මාසයන්හි දි පුපුරා ගියේ ඉතිහාසය වෙනස් කරන මහා ජන අරගලයන් ලෙසින්ය.

  • විප්ලවය හා සමාජවාදය

විප්ලවයක් ඇති වීමට ප්‍රථම ඕනෑම සමාජයක  හැකි පොදු  ලක්ෂණ  රුසියාවේද  දැකගත හැකි වූ අතර වැඩවසම් සමාජ ක්‍රමය මත පදනම් වූ කෘෂිකාර්මික ආර්ථික රටාවකින් හෙබි රුසියාවේ  ඉඩම් වල  පාරම්පරික හිමිකාරීත්වය රදළවරුන් සතු වීම සහ රටේ සාමාන්‍ය වැසියන් වූ ගොවියන් ප්‍රවේණිදාසයන් වශයෙන් එම ඉඩම්වල වගා කටයුතු කිරීම හේතුවෙන් රදලවරුන් සදාකාලික ධනවතුන් ලෙසද ප්‍රවේණිදාසයන් ඔවුන්ගේ වහල් දේපලක් ලෙස ද ජීවත් විය.

එමෙන්ම රදළවරුන්ගේ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් හිලව් වශයෙන් ආදායමෙන් කොටසක් බදු ලෙස රජයට පල්ලියට සහ රදලයන්ට ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙම ප්‍රවේණි දාසයන් ජීවත් වූයේ දිනෙන් දින විශාල වන  ආර්ථික ගැටලුවලට මුහුණ දෙමිනි.

තවද 19 වන සියවසේ රුසියාවේ පැතිර ගිය කාර්මීකරණය හේතුවෙන් ගොවියන්ට අමතරව සාමාන්‍ය කම්කරු පිරිසක් ද රුසියාවේ බිහි වී සිටි අතර එය සංඛ්‍යාත්මක වශයෙන් ගොවියන්ට වඩා ඉතාමත් සුළු ප්‍රතිශතයකි. නමුත් කම්කරුවන්ගේ තත්ත්වය ගොවියන්ට වඩා සෑම විටම මදක් හෝ යහපත් විය.

ඊට අමතරව ඉතාමත් සුළු ප්‍රමාණයකින් යුක්ත මධ්‍යම පන්තියක්ද ජීවත් වූ අතර, ඔවුන් බොහෝමයක් දෙනා රාජ්‍ය සේවයේ නියුතු වූවන් විය.  

1905 වර්ෂයේ රුසියාව තුළ ඇතිවූ රාජ්‍ය විරෝධි විරෝධි කැරැල්ල

කෙසේ වෙතත්  ජපානය සමඟ පැවති යුද්ධය රුසියාව පරාජයට පත්වීම  1905 දී රුසියාව තුල ඇතිවූ රාජ්‍ය විරෝධි විරෝධි කැරැල්ල ට අඩිතාලමක් දැමූ සිදුවීමක් වූ අතර  ගොවියන්ගේ කැරැල්ලක් හා කම්කරුවන්ගේ වර්ජනය වර්ජනයක් වශයෙන් 1905 දී ඇති වූ මෙම රාජ්‍ය විරෝධී කැරැල්ල ට පසුව නාවික හමුදාවේ කැරලිකරුවන් දෙද සහභාගී වූ නමුත් මෙම සටන ජයගැනීමට ජය ගැනීමට ඔවුන්ට නොහැකි වුවත් එය රුසියාවේ ජයග්‍රාහි විප්ලවයට ගත් ආරම්භයක් ම විය.

එමෙන්ම මෙම රජුට එරෙහි කැරැල්ලත් සමගම සාර් පාලකයන් විසින් දේශපාලන ප්‍රතිසංස්කරණ කීපයක් ජනතාව වෙත ලබා දුන් නමුත් ජනතාව ඉන් තෘප්තිමත් කිරීමට ඔවුන් අපොහොසත් වූ අතර, ජනතාවගේ විරෝධතාවයන් පාලනය කරගත නොහැකි වූ කල සාර් රජු විසින් ඔවුන් අරබයා දැඩි මර්දනකාරී පිළිවෙතක් ගෙනයද්දී , කැරැල්ලට නායකත්වය ලබාදුන් ලෙනින් ප්‍රමුඛ කණ්ඩායම සිය බොල්ෂෙවික් පක්ෂය සමගින් මන්ත්‍රණ සභාවෙන් ඉවත් වීමට  තීරණය කොට ඉන් අනතුරුව සාර් පාලනයට එරෙහි සිය වැඩ කටයුතු  බිම් මට්ටමින් කරගෙන යෑම  ඔවුන් විසින් ආරම්භ කරන ලදී .

ලියොන් ට්‍රොට්ස්කි

ලෙනින් ප්‍රමුඛ කණ්ඩායම විසින් සාමාන්‍ය වැසියා අතරට සමාජවාදී දර්ශනය ගෙනගිය අතර, එය පසු කලෙක සෝවියට් සමූහාණ්ඩුව නිර්මාණය වීම සඳහා බලපෑ ප්‍රභලම හේතුවක් විය.

සමාජ වාදය හෙවත් කොමියුනිස්ට්වාදී දර්ශනය තුළින් සමාජය සතු ධනය හා සම්පත් පිළිබඳව පොදු අයිතිය පිළිගැනීම මෙන්ම  සමාන අවස්ථා ලබා දීම, ප්‍රතිඵල සියලු දෙනා අතර සමානව බෙදී යාම, පුද්ගල අවශ්‍යතා අතික්‍රමණය කරමින් පොදු අවශ්‍යතා සහ පොදු අභිවෘද්ධියට ප්‍රමුකත්වය ලබා දීම,  සමාජ විෂමතා නැති කිරීම මෙන්ම සමාජ අසාධාරණය නැති කිරීම පිළිබඳ සංකල්ප ජනතාවගේ සිත් තුළ වර්ධනය කළ අතර එම සාමූහික හැඟීම  රුසියානු විප්ලවයට පණ පෙවූ ජීවවායුව විය.

  • පළමු වන ලෝක යුද්ධය හා රුසියානු විප්ලවය

1914 දී පළමුවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයත් සමඟ රුසියාවේ තත්වය තවත් දරුණු අතට පත්විය, මෙහිදී රුසියාවද මිත්‍ර පාර්ශවයේ නායකයෙකු වශයෙන් පළමුවන ලෝක යුද්ධය හා සම්බන්ධ වූ අතර එහිදී තම හමුදාව වර්ධනය කර ගැනීම සඳහා සාර් පාලකයන් විසින් ගොවීන් හා කම්කරුවන් අතිවිශාල වශයෙන් හමුදාවට බඳවා ගන්නා ලදී, මෙය බොහෝ දුරට ගොවීන්ගේ හා කම්කරුවන්ගේ කැමැත්තකින් තොරව සිදු වූ සිදුවීමක් විය.

පළමුවන ලෝක සංග්‍රාමයට එක්වූ රුසියානු සෙබළු

එමෙන්ම ගොවීන් වැඩි වශයෙන් හමුදාවට එක් වීම හේතුවෙන් ගොවිතැන් කටයුතු අඩාල වීමත්, යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය වෙනුවෙන් කර්මාන්තශාලා වල කර්මාන්ත කටයුතු අඩාල වීමත් හේතුවෙන් රුසියාව තුළ ආහාර, ඖෂධ වර්ග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වූ අතර ඒ හේතුවෙන් භාණ්ඩ මිල ද අති විශාල වශයෙන් ඉහළ ගියේය. මෙම තත්ත්වය ජනතාවට කොතරම් පීඩා කාරී ලෙස බලපෑවේ ද යත්  එය මහා විප්ලවයක් ලෙසින් 1917 දී  පුපුරා ගියේ සාර් පාලනයේ අවසානයක් දකිමිනුයි.

  • මාර්තු විප්ලවය

අවසානයේ 1917 වර්ෂයේ මාර්තු මාසේ දී රුසියානු ජනතාවගේ පීඩනය පුපුරා ගියේය. ප්‍රථමයෙන් රෙදි කම්හලක  ඇති වූ  වැඩවර්ජනය දින දෙක තුනක් යනවිට දස දහස් ගණනින් ජනතාව එක් රැස් වූ මහා රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවට පත් විය. ජනතාව සිය දහස් ගණනින් වීදි පුරා කෑගසමින් ආහාර ඉල්ලමින් විරෝධතාවයේ නියැළෙන්නට විය. එතෙක් කාලයක් සාර් පාලකයන්ගේ සහ රජුගේ ආරක්ෂාවට සිටි හමුදාවද ජනතාව හා එක විරෝධතාවන් හි යෙදෙන්නට පටන් ගත් අතර, ජනතා කැරැල්ල මැඩ පැවැත්වීමට නොහැකි වූ කළ රජතුමාට සිය සිහසුන අත් හැරීමට සිදුවිය.

සාර් පාලනය බිඳ වැටීමෙන් අනතුරුව ජනතාවගේ පාලනය අතට ගත් කෙරෙන්ස්කි තාවකාලික ආණ්ඩුවක් බිහි කළ ද, ඔහුගේ ආණ්ඩුවට රටේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට නොහැකි වූ බැවින්  ජනතා විරෝධතාවයන්හි අඩුවක් සිදුවූයේ නැත .

 

මාර්තු විප්ලවය

මේ සමය වන විට රුසියාවේ බෝල්ෂෙවික්වරුන් සහ මෙන්ෂෙවික්වරුන් නමින් කණ්ඩායම් දෙකක් සිටි අතර ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික්වරුන් සමාජවාදය හෙවත් කොමියුනිස්ට්වාදය විශ්වාස කරද්දී මෙන්ෂෙවික්වරුන් සුළු ප්‍රතිසංස්කරණ මගින් ජනතා ප්‍රශ්න විසඳීමට හැකි යැයි විශ්වාස කළහ.

නව පාලනය  යටතේ ද ජනතාව අපේක්ෂා කළ විසඳුම් නොලැබීම හේතුවෙන් ජනතා රැල්ල තවදුරටත් බල පැවති අතර ඒ වන විට රුසියානු ජනතාවට අත්‍යවශ්‍යව තිබූ ආහාර, ඉඩකඩම් සහ  රුසියානු හමුදාවට අවශ්‍යව තිබූ සාමය ලබාදීමට නව පාලකයන්ට නොහැකිවී නොහැකිවීම හේතුවෙන් ඉන් මාස කීපයක ඇවෑමෙන් යළිත් මහා පරිමාණ වශයෙන් ජනතා විප්ලවයක් ඇති විය.

  • ඔක්තෝම්බර් විප්ලවය

වසර ගණනාවක් පුරාවට කොමියුනිස්ට්වාදීන් විසින් රුසියාව පුරා ගෙන ගිය සමාජවාදය ව්‍යාප්ත කිරීමේ  කාර්යයෙහි සැබෑ ප්‍රතිඵල ළඟා කර දුන්නේ 1917 වර්ෂයේ ඔක්තෝම්බර් මස ඇතිවූ විප්ලවය තුළිනි.

ධනවාදී ආර්ථික ක්‍රමය බිඳ දමා ලොව සාර්ථකම සමාජවාදී ආර්ථික ක්‍රමය බිහිකළ සෝවියට් සමූහාණ්ඩුවේ ආරම්භය ඔක්තෝම්බර් විප්ලවයත් සමඟ සිදුවිය.

ලෙනින් හා ට්‍රොස්කි විසින් නායකත්වය ලබාදුන් බෝල්ෂෙවික් පක්ෂයට  පීඩිත ජනතාවගේ පූර්ණ සහය හිමිව තිබූ අතර එහිදී ලෙනින් විසින් සිදුකළ ” මේ මොහොතේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපිට අනුකම්පා නොකරනු ඇත” යන ප්‍රකාශය ඉතිහාස ගත කරමින් රුසියාවේ සන්නද්ධ විප්ලවය ආරම්භ විය.

ඓතිහාසික ඔක්තෝබර් විප්ලවය

විප්ලවකරුවන්ගේ මූලික ඉලක්කයන් වූයේ රජයේ මර්මස්ථාන සිය ග්‍රහණයට නතු කර ගැනීමයි. ඒ අනුව දුම්රිය ස්ථාන තැපැල් කාර්යාල බැංකු වැනි රජයේ ප්‍රධාන කාර්යාල විප්ලවකරුවන්  සිය ග්‍රහණයට නතු කරගත් අතර, හමුදා භටයන් විසින් ද විප්ලවකරුවන්ට හා සාමාන්‍ය ජනතාවට එරෙහිව කිසිදු බලයක් යෙදීමක් සිදු නොකළ බැවින්. කොමියුනිස්ට්වාදීන් අපේක්ෂා කළ තරමට වඩා පහසුවෙන් විප්ලවයෙන් ජයගැනීමට ඔවුන්ට හැකි විය.

මෙම කැරැල්ල සඳහා එවකට සහයෝගය ලබා නොදුන්නේ රුසියානු පාලකයින් පමණි. රටේ අස්සක් මුල්ලක් නෑර සියලු ජනතාව මෙම කැරැල්ල සඳහා සහාය දුන්නේ, ඔවුන්ට එරෙහිව පැවති මර්ධනය සහ පීඩනය එතරම් දැඩි වූ බැවිනි.

ලෝකයේ සම්මත දින දර්ශනයට අනුව 1917 නොවැම්බර් මස සිදු වූ මෙම විප්ලවය, එවකට රුසියාව විසින් පැරණි දින දර්ශනය භාවිතා කිරීම හේතුවෙන් ඔක්තෝම්බර් විප්ලවය ලෙසින්  ලොව පුරා ප්‍රචලිත වූ අතර, ලෙනින් ප්‍රමුඛ  බෝල්ෂෙවික් පක්ෂය හෙවත් කොමියුනිස්ට් පක්ෂයේ  නායකත්වයෙන් සෝවියට් රුසියාව රුසියානු සමූහාණ්ඩුව ඒ ආකාරයෙන් බිහිවිය.

ඔක්තෝම්බර් විප්ලවයේ ජයග්‍රහණයත් සමඟින් රුසියාවේ තත්වය හාත්පසින් වෙනස් විය.එතෙක් රුසියාවේ ක්‍රියාත්මක වූ වැඩවසම් ක්‍රමය අහෝසි කොට  රදළයන් සතුව අති විශාල වශයෙන් පැවැති ඉඩකඩම් රජය වෙත පවරා ගෙන කුඩා ගොවිපලවල් වශයෙන් වගා කිරීමට ගොවීන්ට ලබාදුන් දීමත්, පසුව ඒවා සමූහ ගොවිපලවල් දක්වා වර්ධනය කිරීමත් එමෙන්ම  කර්මාන්තශාලා  හා අනෙකුත් දෑ ජනසතු කිරීම තුළින් ආදායම් බෙදීයාමේ විෂමතාවයන් අවම කිරීමත් වැනි  දෑ සමග රුසියාව පූර්ණ වශයෙන් සමාජවාදය අනුව පාලනය වන රටක් බවට පත් වූ අතර ඒ සමගින් ලොව පුරා සමාජවාදයේ සුළං රැළි හමා යෑම ආරම්භ විය.

සටහන : අක්ෂි මාපා වීරසිංහ

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්