එංගලන්තයේ රජ මාළිගාවල තරම් හොල්මන්, අවතාර  වසර දහස් ගණනක් පැරණි සොහොන් බිමක වත්  නොමැති තරම්ය. එතරම්ම එම  මාළිගා පිළිබඳව හොල්මන්, අවතාර හා සබැඳි පුරාවෘත්ත ඇත.

 

උදාහරණයක් ලෙස  වින්ඩ්සර් මාළිගාව තුළ පැරණි රාජකීය හොල්මන් විශාල ප්‍රමාණයක් සැරිසරන බවට ඇසින් දුටු සාක්ෂි ද පවතී.

 

වින්ඩ්සර් මාළිගාව

 

ඇතැම්විට ජීවත්ව සිටි අවදියේ අධිරාජ්‍යයක බර හිසමත තබාගෙන ජීවත්ව සිටි ඔවුන්  මියගිය පසු සිය නිදහස් ජීවිතය සොයනවා වන්නට ඇත.

 

මෙම රාජකීය අවතාර අතර අතිශය ජනප්‍රිය අවතාරයක් වන්නේ පළමුවන එලිසබෙත් මහ රැජණගේ අවතාරයයි.  

 

එමෙන්ම තුන්වන ජෝර්ජ් රජුගේ අවතාරය මෙන්ම, පළමුවන චාල්ස් රජු ගේ අවතාරය ද  වින්ඩ්සර් මාළිගය  තුළ ඇති බවට සාක්ෂි සපයන්නෝ බොහෝමයක් සිටින අතර ඊට අමතරව තවත්  ජනප්‍රියම අවතාරයක් වන්නේ හ’ර්න් අවතාරයයි.

 

මාළිගය භීතියට පත් කරන මියගිය රාජකීයන්

 

වින්ඩ්සර් මාළිගාවේ රාජකීය අවතාර අතරින්  ජනප්‍රියතම  අවතාරයක් වන්නේ පළමුවන  එළිසබෙන් මහ රැජිණගේ අවතාරයයි.  මේ අවතාරය හා සම්බන්ධ කතාව පිළිබඳව ජනතාව දැඩි ලෙස විස්වාස කරනු ලබන්නේ  දෙවන එළිසබත් මහ රැජිණ හා ඇගේ සොයුරිය වන  මාග්‍රට් කුමරිය මෙම අවතාරය දැක ඇති බවට පවතින කතාව හේතුවෙනුයි.

 

පළමුවන  එළිසබෙන් මහ රැජිණ

මෙම අවතාර අධිරාජිණියගේ ප්‍රියතම ස්ථානය වන්නේ රාජකීය පුස්තකාලය වන අතර, ඇයව ඇසින් දුටු බොහෝමයක් දෙනා කියා සිටින්නේ, ඇය පුස්තකාලය තුළදී දුටු බව හා පුස්තකාලයට යන ආකාරය දුටු බවය.

 

දිනක් රාත්‍රි වින්ඩ්සර් මාළිගාවේ පුස්තකාලයට වී සිටින දෙවන එළිසබත් හා මාග්‍රට් කුමරියට පියවර හඬක් ඇසී ඇති අතර ඒ හඬ පසු පස යාමේදි ඔවුන් දෙදෙනාට දැක ගන්නට ලැබී ඇත්තේ, අඩි උස පාවහන් පැළඳ , දිග කළු ගවුමක් හා කළු වේලයක් පැළඳ මාළිගාවේ ගමන් කරනා පළමුවන එළිසබෙත් මහ රැජිණගේ අවතාරයයි.

 

බොහෝ දෙනා කියනා පරිදි , අධිරාජිණියගේ අවතාරය දිස් වීමට පෙර ඇගේ පියවර හඬ ඇසෙයි.

 

එමෙන්ම වරෙක මෙම අවතාර අධිරාජිණිය මාළිගාවේ මුර සේවය කළ සෙබළෙක් හටද හමුවී ඇති අතර, ඔහු කියා සිටින පරිදි අවතාරය පුස්තකාලයට පිවිස හිටි හැටියේම අතුරුදහන් වී ඇත.

 

එමෙන්ම පළමු පළමුවන චාල්ස් රජුගේ අවතාරයද මෙම රාජකීය පුස්තකාලය තුල දුටු බවට සාක්ෂි සපයන බොහෝ දෙනෙක් ඇති අතර, 1649 දී පාර්ලිමේන්තුවේ සම්මුතියකට අනුව දේශ ද්‍රෝහි වීමේ වරද හේතුවෙන් හිස ගසා දැමූ රජු ඇතැම් විට මාළිගය තුළ සැරිසරමින් තම මරණයට යුක්තිය ඉල්ලනවා වන්නට බැරි නැත.

 

පළමුවන චාල්ස් රජු

තවද සිය ජීවිතයේ අවසන් සමයේ මානසික ආබාධයකින් පෙළුණු තුන්වන ජෝර්ජ් රජු හටද මරණයෙන් පසුව යාමට තැනක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ඔහුගේ කාමරයේ කවුළුව අසල සිටගෙන එළිය බලා සිටිනා රජුගේ අවතාරය ඇසින් දුටුවන් බොහෝමය. 

 

තුන්වන ජෝර්ජ් රජු

 

ඔහුගේ උමතු භාවය නිසාම නිරන්තරයෙන් මිමිණූ ” මොකක්ද ? මොකක්ද?”  යන වචනයද මාළිගාවේ බිත්ති අතර දෝංකාර දෙන බවට ඇසුණු අයද ඇත.

 

සීතල රැයේ මරණය ගේන හ’ර්න් අවතාරය

 

වින්ඩ්සර් මාළිගාව භීතියට පත් කරන  අවතාර අතරේ සිටිනා වඩාත්ම බියකරු අවතාරයක් වන්නේ “හර්න්” ගේ අවතාරයයි, 

 

ඔහු වරින් වර විවිධාකාර ස්වරූප වලින් පෙනී සිටින අතර, ඇසින් දුටු සාක්ෂි කියා සිටින්නේ, වරක ඕක් ගසක එල්ලී සිටින ඒ අවතාරය  තවත් වරක ගෝන අඟක් හිස පැළඳගෙනද පෙනී සිටින බවයි.

 

හ’ර්න් හෙවත් දඩයක්කරුවාගේ අවතාරය

 

මෙලෙස පෙනී සිටින මේ අවතාරය  තුන්වන රිචඩ් රජුගේ දඩයක්කරුවා බවට බොහෝ දෙනා විශ්වාස කරන අතර ජනප්‍රවාද කියා සිටින්නේ  දඩයම තම ප්‍රියතම විනෝදාන්ශය බවට පත් කර ගෙන සිටි තුන් වන රිචඩ් රජු වින්ඩ්සර් මාළිගය අසළ කැලෑවට දඩයමට යන ගමනේදි සෑම විටම තව විශ්වාසවන්තව දඩයක්කරුව කැඳවාගෙන යාමට කටයුතු කළ බවය.

 

කතාව මෙසේය, 

“එක් දිනක් දඩයමේ ගිය රජුගේ ඉලක්කයට ගෝනෙකු හසු වී ඇති අතර, ඊතල පහර වැදුණු ගෝනා තුවාල පමණක් ලබා , කෝපාවිශ්ඨ වී රජුට පහර දීමට දිව එද්දි, හ’ර්න් විසින් රජුව ආරක්ෂා කොට ගෝනා හා සටනට වැදී ඇත. මෙම සටන අවසානයේ ගෝනා මිය ගොස් හර්න්ට දැඩි තුවාළ සිදු වී ඇති  අතර, වේදානාවෙන් පෙළුණු හ’ර්න් ගේ ඉල්ලීමකට අනුව මිය ගිය  ගෝනාගේ අඟ කපා ඔහුගේ හිස පළඳවා ඇත.

 

මේ සිදුවීමත් සමග මොහු තමාගේ ජීවිතය බේරා ගත්තා නේද යනුවෙන් රජුගේ සිතට නැගුණු සිතුවිල්ල  හේතුවෙන්, හ’ර්න් කෙරෙහි රජුගේ කැමැත්ත තවත් වර්ධනය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හ’ර්න් අනෙකුත් රාජකීය දඩයක්කරුවන්ගේ ඉරිසියාවට බඳුන් වී තිබේ.

 

එම ඉරිසියාව හේතුවෙන් අනෙකුත් දඩයක්කරුවන් හ’ර්න් ගැන අසත්‍ය දෑ රජුට කේළම් වශයෙන් කීමට පෙළඹුණු අතර, අවසානයේ මේ බස් විශ්වාස කළ රජු ඔහුව ධූරයෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇත.

 

මේ සිදුවීමත් සමග දැඩි ලෙස සිත් තැවුලට ලක්වූ මෙම රාජකීය දඩයක්කුරුවා සිය ජීවිතය අවසන් කරගනිමින් වින්ඩ්සර් මාළිගාව අසළ  ඕක් ගසේ ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.”

 

කතාව ආරම්භ වන්නේ එතැනිනුයි.

 

හ’ර්න් ගේ මරණයෙන් අනතුරුව හ’ර්න් ව මාළිගාව පුරා දුටුවන් බොහෝමයක් ඇති අතර, එක් කටකතාවකට අනුව ඔහු  විටින් විට අන්ධකාරය පිරි රාත්‍රීන් වල දඩ බල්ලන් රැසක් පිරිවරාගනිමින් මාළිගා භූමිය පුරා ඇවිද යයි.

 

තවත් අයෙක් ඔහුව දැක ඇත්තේ  ඕක්ගසේ ගෙල වැළලාගෙන සිටි ස්වරූපයෙනි.

 

කෙසේ වෙතත් හර්න්ගේ හොල්මන පිළිබඳව කටකතාව පැතිර යද්දි 1863 වර්ෂයේදි වික්ටෝරියා රැජිණ විසින් එම කතාවට පදක වූ ඕක් ගස කපා දමන්නට අණ කර ඇති අතර, පසුව එම කපා දැමූ දැව ඇයගේ පෞද්ගලික පාවිච්චියට ගෙන ඇත.

වික්ටෝරියා රැජිණ

කෙසේ වෙතත් පසුව මුහුණ පාන්නට සිදුවී ඇති සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඇය විසින් එම දැව පිළිස්සුවද ඉන් පසුවද හ’ර්න්ගේ පෙනී සිටීම හෝ භූත බලපෑම නතර වී නොමැත.

 

මෑත කාලයේදී හර්න් පෙනී සිටි අවස්ථාවක් ලෙස 1976 වර්ෂයේ සිදු වූ සිදුවීමක් දැක්විය හැකිය, එහිදී වින්ඩ්සර් මාළිගාව අසළ ශීතල දිය පාර අසබඩ මුර සේවයේ යෙදුණු සෙබළෙකු සිහි මුර්ජාව සිටිණු දැක ගැනීමට ලැබී ඇති අතර, පසුව ප්‍රථිකාර වලින් අනතුරුව පියවි සිහිය ලද ඔහු විසින් කියා ඇත්තේ , තමා අං තට්ටුවක් පැළඳි අමුතු ආකාරයේ මිනිසෙකු දුටු බවයි.

 

මිය ගොස් ශතවර්ෂ ගණනාවකට පසුවද , අදටත් ගෝන අං තට්ටුව සමගින් පෙනී ඉන්නා හර්න් අළුත් ජීවිතයක් සොයා නොයන්නේ තමාට වූ අසාධාරණය හේතුවෙන්ද යන්න දන්නේ ඔහුගේ ආත්මයම පමණය.

 

මෙහි දැක්වෙන්නේ වින්ඩ්සර් මාළිගාව පුරා සැරි සරන බවට ප්‍රචලිත අවතාර විශාල ප්‍රමාණයකින් අතලොස්සක් පමණක් වන අතර, තවත් අවතාර කිහිපයක තොරතුරු ඉදිරි ලිපි මගින් ගෙන ඒමට නියමිතය.

 

( මෙහි දක්වා ඇති කරුණු සියල්ලක්ම ලොව පුරා ප්‍රචලිතව පවතින කටකතා, ජනප්‍රවාද හා ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව සටහන් කොට ඇත )

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

මෙන්න බලන්න තවත් පුවත්