ටොමොශිරෝ කතෝ ඊයේ (26) ටෝකියෝ රැඳවුම් මධ්‍යස්තානයේදි  අවසන් ගමන් ගියේ 2022 වර්ෂය තුළ ජපානය විසින් මරණ දඬුවම ලබා දුන් පළමුවැන්නා ලෙස මරණ දඬුවම් ලැබීමෙනුයි.

2008 වර්ෂයේ ටකිහබරා  නගරයේ පුද්ගලයන් 7 දෙනෙකු සාමුල ඝාතනය කිරීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම හිමිවන අතර,ඔහු විසින් සිදු කළ ඒ සැහැසි ක්‍රියාව ජපානය තුළ සිදුවූ අතිශය අන්දෝලාත්මක ඛේදවාචකයක් වන්නේ එදින ඔහු අතින් මිය යන්නේ ඔහු හා කිසි සේත්ම සම්බන්ධතාවයක් නොවූ මාර්ගයේ ගමන් කරමින් සිටි අහිංසක වැසියන් පිරිසක් වීම හේතුවෙනි.

එවකට 25 හැවිරිදි වියේ පසුවූ ටොමොශිරෝ කතෝ අධික වේගයෙන් පදවා ආ ට්‍රක් රථයකට යට කොට පදික වේදිකාවේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කොට ඉන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් තවත් සිව් දෙනෙකු පියකින් ඇන ඝාතනය කළේ තවත් අට දෙනෙකු හට බරපතල තුවාල සිදු කරමිනුයි.

ඔහු විසින් සිදු කළ එම මිලේච්ඡ ඝාතනයන්ට වසර කිහිපයකට පසුව ටෝකියෝ අධිකරණය විසින් විසින් ඔහුට මරණ දඬුවම නියම කළේ  “ඔහුගේ කුරුරු අපරාධය හේතුවෙන් ” මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක්” වත් ඔහු සතුව නොමැති බව පෙනී යයි.” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

අපරාධය සිදු කළ ස්ථානයේදිම පොලිස් අත්තඩංගුවට පත්වූ කතෝ, පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ  “මම ටකිහබරට ආවේ මිනිස්සු මරන්න. මට කාව මැරුවත් කමක් නැහැ.” යනුවෙනුයි.

ධනවත් පවුලක උපත ලැබීමට වාසනාවන්ත වූ ටොමොශිරෝ කතෝ පාසල් අධ්‍යාපනය අවසන සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ස්ථාවර රැකියාවක් කිරීමෙහි අපොහොසත්ව ඇත.පසුව අන්තර්ජාලය හරහා පවත්වාගෙන සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් බොහෝ සෙයින් මානසික පීඩනයට ලක් වී ඇති ඔහු විවිධ අන්තර්ජාල වේදිකාවන්හි සිය කෝපය හා සමාජයෙන් දුරස් වීම පිළිබඳව අදහස් පළ කොට ඇත.

එමෙන්ම නඩු විභාගය අතරතුරදි හෙළි වී ඇත්තේ , අන්තර්ජාලය හරහා කාන්තාවක් හා  පැවති සම්බන්ධතාවය බිඳ වැටීම හේතුවෙන් මානසික වශයෙන් පීඩනයට පත් වූ ඔහු, සිය කෝපය  හේතුවෙන් මෙලෙස මිනිසුන් ඝාතනය කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ (26) දිනයේදි ඔහුට එම අපරාධය සඳහා අධිකරණයෙන් නියම වූ දඬුවම ලැබුනු අතර, ඔහුගේ මරණ දඬුවම පිළිබඳව සඳහන් කරමින් ජපන් අධිකරණ අමාත්‍ය යොෂිහිසා ෆුරුකාවා මාධ්‍ය  වෙත කියා සිටියේ, 

“මෙම නඩුව සම්පූර්ණයෙන්ම උසාවියේ විභාග කර ඇති අතර අධිකරණයේ අවසාන නිගමනය වූයේ මරණ දණ්ඩනයයි. මෙම නඩුව පිළිබඳව  මම හැකි උපරිමයෙන් අවධානය යොමු කර ඇත්තෙමි.” 

යනුවෙනුයි.

ජාත්‍යන්තර සහ  හා දේශීය  මානව හිමිකම් කණ්ඩායම්වල විවේචන නොතකා ජපානය තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන සංවර්ධිත රටවල් කිහිපයෙන් එක වන අතර, මේ වන විට ජපන් සිරකරුවන් 100 කට වැඩි පිරිසක් මරණ දණ්ඩනයට නියම වී සිටිති.

2021 අගභාගයේදී අගමැති ෆුමියෝ කිෂිඩා බලයට පත් වූ විට ජපානය නැවත වරක් මරණ දඬුවම ක්‍රියාතමක කළ අතර, ඔහු බලයට පත්වීමට පෙර වසර දෙකක් පුරාවට ජපානය තුළ මරණ දඬුවම ක්‍රියාමත්ක නොවීය.

කෙසේ වෙතත් ටොමොශිරෝ කතෝ ගේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජපන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටින්නේ,

“දරුණු අපරාධවල අවසානයක් නොමැති බැවින්, මරණීය දණ්ඩනය අවශ්‍ය බව මම කණගාටුවෙන් වුවත් කියමි. එබැවින් දඩුවම අහෝසි කිරීම සුදුසු නොවේ.”

යනුවෙනුයි.

 

මූලාශ්‍ර : BBC

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්