ගහකොළ සතා සිවුපාවාට අපි ආදරය කරුණාව දැක්වුවොත් ඔවුනුත් පෙරළා අපිට ආදරය කරුණාව දක්වනවා ඒක තමයි සොබාදහම් මාතාවගෙයි අපෙයි සොඳුරු ගනුදෙනුව.එක් පැළයකට අපිට හුස්ම ගන්න පුළුවන් හුස්ම ටික දෙන්න හැකිනම් ඒ වගේ මුළු පරිසර පද්ධතියකට ම මිනිසා වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති තරම්.

ඈත අතීතයේ ජීවත් වන බොහෝ දෙනා පරිසරයට සතා සිවුපාවට ආදරය කරන්න පටන් ගත්තු උතුම් ජාතියක්. ඒ අතරින් ගෝත්‍රික නායකයෙක් වන සියටෙල් කියලා කියන්නේ නිතරම ස්වභාදහම තමන්ගේ ජීවිතය සහ හුස්ම ටික කියලා හිතාගෙන ජීවත් වුණු ආදරණීය ජන නායකයෙක්.

ඔහුගේ මූලික තේමා පාඨය වුණේ පරිසරය සුරැකීමයි. අතීතයේ බොහෝ දෙනා ගහකොළට දේවත්වයෙන් පවා වන්දනාමාන කරන්න පටන් ගත්තේ අපේ ජීවිතය රඳා පවතින්නට ඔවුන් සිද්ධ කරන්නා වූ ඒ නිහඩ සේවය නිසාමයි. ඔවුන් තුළ තිබුණු එකම අරමුණ තමයි කිසියම් හෝ හේතුවක් නිසා ඔබ එක ගසක් කපනවා නම් අනිවාර්යෙන්ම තව ගස් දහයක් වත් ඒ වෙනුවෙන් සිටවිය යුතුයි කියන දේ.

එසේම ශ්‍රී ලංකාව තුළත් තුලත් පරිසරය පිළිබඳව නොයෙකුත් ආකාරයේ කතාබහ අපිට අහන්නත් දකින්නත් තියෙනවා.ඉතින් අපි අද ඔබට අපේ විශේෂාංගය තුළින් කියන්න යන්නේ හරි සංවේදී ඒ වගේම අහන්න හිතෙන ලස්සන වූත් සුන්දර වූත් ආදරණීය කතාවක්. ඉතින් මේ ලිපිය අවසානය තෙක් කියෙව්වොත් ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම කාන්තාවකට මේ තරම් දුකක් හිතේ තදකරගෙන මේ වගේ සේවයක් කරන්න පුළුවන් ද කියන ද.

ඇය නමින් සාලුමරඩා තිම්මක්කායි.මේ අපූරු කාන්තාව තමයි අපේ කතාවෙ ප්‍රධානම කතානායිකාව.ඔබ ඇය ගැන දන්නවා නම් මේ කතාව කලින් අහලා තියෙන්නත් පුළුවන්.නමුත් බොහෝ දෙනෙක් නොදන්න ඇගේ ඒ සුන්දර කතාව කියන්න තමයි මේ පටන් ගන්නෙ. තිමක්කා කර්ණාටක ප්‍රාන්තයේ ටම්කර් දිස්ත්‍රික්කයේ ගුබ්බි කියන ප්‍රදේශයේ තමයි උපත ලබන්නේ.

ඉතින් දුප්පත්කම කියන දේ කරපින්නාගෙන උපත ලබපු ඇය වේලක් නොකා වේලක් කාලා ඉතා දුක සේ තමයි ජීවත් වුණේ.ඉන්දියාව කියලා කියන්නේ ජනගහනයෙන් අතිවිශාල ප්‍රමාණයක් සිටින රටක්.ඒ නිසා ඈත පිටිසර ගම්වල ජීවත් වන බොහෝ දෙනා ඉතාමත් අමාරුවෙන් තමයි තමන්ගේ ජීවන කාලය ගත කරන්නේ.

ඒ අතරින් එක් පුද්ගලයෙක් තමයි තිමක්කා අක්කා කියලා කියන්නේ. පුංචි කාලේ ඉදන්ම අගහිඟකම් තියෙන පවුලක ඉපදුන නිසා ඇයට සිද්ධ වෙනවා පාසලෙන් අයින් වෙලා ගෙදර දොරේ වැඩපළ කර ගෙන අතට කීයක් හරි හොයාගන්න. පාසල් අධ්‍යාපනයක් නො ලැබෙන ඇයට නියමිත වෙලා තිබුණු කාර්යයන් අතර ප්‍රධාන කාර්යය තමයි බැටළුවන් සහ ගවයන් තණ බිම් කරා රැගෙන යාම.

තිමක්කට එයින් නතර වෙන්න සිද්ධ වෙන් නැහැ සමහර දවසට ඇයට සිද්ධ වෙනවා කුලී වැඩ කරලා කීයක් හරි හොයාගන්න. මේ විදියට කාලය ගත කරද්දි ඔන්න ඇය වැඩිවියට පත්වෙනවා. ඊට පස්සේ ඇගේ දෙමව්පියන් තීරණය කරනවා තිමක්කව සරණ පාවලා දෙන්න. ගෙදරට බරක් නිසා දරිද්‍රතාවයෙන් ජීවත් වන පවුලක් නිසාත් මේ දෙමව්පියන්ට ඇයව හුලිකල් ගමේ ශ්‍රී බිකල් චික් අයියා නැමැති පුද්ගලයකුට සරණ පාවා දෙනවා.

ඉතින් මේ විදිහට තිමක්කා විවාහ ජීවිතයට ඇතුළත් වෙලා තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයත් එක්ක හරිම ආදරෙන් කිරීයි පැණීයි වගේ තමයි ජීවත් වුණේ.විවාහ වෙලා ටික කාලයක් ගියාම නව යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දරු පැටවෙකුගේ කිරි සිනහා දකින එක. ඉතින් ටික කාලයක් විවාහ වෙලා ගත වුණත් තාම ඇයට දරුවෙකු ලැබෙන පාටක් නම් නැහැ.

පුංචි කාලේ ඉඳන්ම ජීවිතය සරදම් කළෙත් තිමක්කටයි.මෙදාපාරත් ඒ කෙනහිලිකම් නැවතුණේ නැහැ.ඉතින් මොකද දන්නවද සිද්ධ වුණේ දරුපල ප්‍රමාද නිසා තිමක්කා සහ සැමියා යනවා වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න.වෛද්‍යවරයා හොඳින් දෙදෙනාවම පරික්ෂා කලා බලපුහාම ඔහුගේ මතය වුනේ ඇයට දරු ඵල හිමිවීමට ඉඩ කඩක් නැහැ කියලයි. සරලව කිවුවොත් ලොව පුරා අඹු සැමියන්ගෙන් 15% ලොවක් පමණ මුහුණ දෙන අවාසනාවන්ත ඉරණම ඔවුන්ට ද හිමි වුණා.

වෛද්‍යවරුන්ගේ ඒ විදිහට සඳහන් කරත් තිමක්කා සහ චික්කයියා වයස අවුරුදු 40 වෙනකම්ම තමන්ගේ දරු සිහිනය පිළිබඳව සුබ සිහින අත ඇරියේ නැහැ.හැමදාම මේ දෙන්නා බලාපොරොත්තු පොදි බැඳගෙන අලුත් අමුත්තා ට තමන්ගෙ කැදැල්ලේ ඉඩ තියාගෙන හිටියා.ඒ කෙසේ නමුත් දවසින් දවස බලාපොරොත්තු වැඩි වැඩි වුණා මිස කිසිම සුබදායී පිළිතුරක් ඔවුන් දෙන්නට ලැබුණේ නැහැ.

තිමක්කගේ ආදරණීය ස්වාමිපුරුෂයා මේ තත්ත්වය තේරුම් අරගෙන ජීවත් වුණත් තිමක්කට නම් මේ දුක දරා ගන්න බැහැ. ඔන්න ඉතින් එක දවසක් උදා වුණා තිමක්කට ඉවසීමේ සීමාව නැතිවුණු.ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕනේ කියන දේ ඇයට තේරුම් ගන්න බැරිව උදෑසනක ම ඇය තීරණය කරනවා තමන්ගේ ජීවිතය ජීවිතය නැති කරගන්න. නමුත් පූරුවේ කරපු වාසනාවකට තිමක්කට තවදුරටත් ජීවත් වෙන්න අවස්ථාව උදා වුණා.

දරුවෙක් කියන්නේ ජීවිතයට සම්පතක් තමයි.නමුත් දරුවෙක් ලබන්න ම ජීවත් වෙන්න ඕනි කියලා සිතන සිතිවිල්ල අමතක කරලා ඇය තීරණය කරනවා එක දරුවෙකුට නෙවෙයි අද උපදින දරුවාට පවා ප්‍රයෝජනවත් විය හැකියි අපූරු කාර්යයකට අත ගහන්න.ඉතින් ඇගේ චින්තනය වටහාගත්තු ආදරණිය චික්කයියා ඇයට උදව් කරන්න එක පයින් කැමති වුණා.

ඒ අනුව ඔන්න තිමක්කා තීරණය කරනවා අලුත්ම වැඩක් කරන්න. ඇත්තටම කිව්වොත් මේක කවුරුත් කරන්නැති කාටවත් කරන්න බැරි ඉතාමත් දුෂ්කර කාර්යයක්. ඇය තමන්ට දරුවන් ලැබුණේ නැති දුක මොහොතකට සමනය කර ගැනීමට කලකදී සෙවන සලසන්නට පුළුවන් ශාක පොළොව මත රෝපණය කරන්න තිරණය කරනවා.

ඒ විදිහට ඇය නුග පැල 10ක් මුලින්ම හොයාගන්නවා. මේ නුග පැල කීපය ඇගේ ගමේ ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් හතරක පමණ පරාසයක රෝපණය කරන්නත් තිමක්ක තීරණය කරනවා. ඇත්තටම ඔන්න ගස් හිටවලා ගෙදර ආපු දවසේ තිමක්කට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඇයට අලුතෙන් දරුවන් දහ දෙනකු මේ මහ පොළොවට දායාද කරා වගේ සතුටක් දැනුනලු.

මේ විදිහට කාලය ගත කරද්දි හැම දවසකම ඇගේ දරුවන් බවට පත්වුණේ මේ ආදරණීය ගහකොළ.මේ වැඩේ කරපුහාම ඇයට ලැබුණු සතුටත් එක්ක දවසින් දවස තව තව ගස් සිටුවන්න හිටවන්න තිමක්කා තීරණය කරනවා.ඒ ගස් වැඩෙන ආකාරය දැකලා ඇය සහ ආදරණීය සැමියා අප්‍රමාණ ප්‍රීතියකින් පිනා ගියා කිව්වොත් නිවැරදියි.

මේ පාරේ ගමන් කරන ගොඩක් දෙනෙක් දකිනවා තිමක්කා සහ ඇගේ ආදරණීය සැමියා මේ පුංචි පැළ අව්වෙන් වේලන එක වලක්වන්න ගව් ගාණක් ඈත ඉඳන් වතුර පනිට්ටු ඇදලා පුංචි පැළ ආදරෙන් දෝවනය කරන ඒ මනරම් දසුන.ඒ විතරක් නෙමෙයි මේ පැල වලට සතුන්ට ළඟාවෙන්න බැරි විදිහට ඒවා ආරක්ෂා කරන්නත් තිමක්කා කටයුතු සූදානම් කළා.

වියලි කාලයේ තිමක්කා පැල හිටවන්නේ නැහැ ඒ සඳහා ඇය තෝරගන්නේ මෝසම් කාලයේ. මෝසම් කාලයේදී නැවත ගස් සිටවන ඇය වියළි කාලෙදී ඒවට අවශ්‍ය කරන පෝෂ පදාර්ථ සහ ජලය ලබා දෙන්න අමතක කරන්නේ නැහැ.

පුංචි කිරි කැටියකු උස් මහත් වෙනවා දැකලා ආඩම්බර වෙන ආදරණීය අම්මා කෙනෙක් වගේ තමයි ඉතින් තිමක්කත් මේ පුංචි ගහකොළ එකෙන් එක දළු දාලා ලොකු වෙන විදිහ බලාගෙන ඉන්නේ. ඉතින් මෙතනින් ඇගේ කාර්ය අවසන් නැහැ. ඇය හැමදාම තමන්ගේ ස්වාමියාටත් වගකිය යුතු කාර්යයක් පවරන්න අමතක කරන්නේ නැහැ.

චික්කයියට සිද්ධ වෙනවා හැමදාම කිලෝමීටර් ගානක් මුර සංචාරය කරන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි හිටෝපු පැළ කා දමන්න ගවයන් මේ පැත්තේ සැරිසරන නිසා. ඉතින් සත්තුන්ගෙන් පැල ආරක්ෂා කරන මුර සංචාරක වැඩේ බාර වෙලා තිබුනේ චික්කයියට.ඉතින් මේ වැඩෙන් ඇයටවත් චික්කයියටවත් ආර්ථිකමය පැත්තෙන්ම වාසියක් ලැබුණේ නැහැ.

සිද්ධ වුණේ අමාරුවෙන් හොයා ගත්තු කීයක් හරි තව වියදම් වුන එක විතරයි. නමුත් දවසෙන් දවස නිලට නිලේ වැඩෙන මේ ගස් දිහා බලන ඔවුන්ට මිල කළ නොහැකි සතුටක් ලැබෙනවා.අන්න ඒ නිසයි මේ ආදරණීය චික්කයියා සහ තිමක්කා තව තවත් ගස් හිටවන්න උනන්දු වුණේ.

ඉතින් ඔබ දන්නවාද අවසානයේ ඔවුන්ගේ චේතනාව කොයිතරම් ලස්සනද කියනවානම් තිමක්කා විසින් මහ පොළොවට හොඳින් වැඩුණු ගස් අටදාහක් දායාද කරනවා. ඒ අතරින් හාර සීයකට ආසන්න ප්‍රමාණයක් නුග ගස් වීම විශේෂත්වයක්. කාට හරි ගණනය කරලා නිම කරන්න බැරි තරමේ වටිනාකමකින් යුක්ත පරිසර පද්ධතියක් ඇය අවසානයේ ඉන්දියාවට දායාද කළා.

එදා දරුවන් නොලැබුන දුකෙන් ඇය තමන්ගෙ ජීවිතය නැති කරගත්ත නම් මේ තරම් සතුටක් ඇයටවත් ඉදිරි පරම්පරාවටත් ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.මේ විදියට ජීවත් වෙද්දී තිමක්කා නැවත වතාවක් ජීවියේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නේ දෙන්නෙ වර්ෂ 1991 දී තමන්ගේ ආදරණීය ස්වාමියා වන චික්කයියා ජීවන ගමනට සමුදීම නිසයි.

දැන් හොඳටම දුක වේදනාව හෙම්බත් වෙලා හිටපු තිමක්කා ඔහු නැති වුණාට පස්සෙත් තමන්ගේ ආදරණීය දරුවන් අතාරින්නෙ නැහැ. අඛණ්ඩව ඇය මේ ගස්වැල් ආදරෙන් බලා කියාගන්න වැඩේ කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් වටින් ගොඩින් මේ පිළිබඳව ආරංචි වෙද්දි ඇය කරපු සේවය මගහැර යන්න නොහැකි තත්ත්වයකට බලධාරීන් පත්වුණා.

ඊට පස්සෙත් තිමක්කා පිළිබඳව වැඩිදුරටත් සොයා බලා වසර ගණනාවක් ම ඇය විසින් සිද්ධ කරපු මේ ඉමහත් සේව්‍ය වෙනුවෙන් ඔන්න දැන් ඉන්දීය රජය සූදානම් වුණා ඇයට ගෞරව සම්මාන ලබා දෙන්න.මේ තමයි ඇගේ ජීවිතයේ සුවිශේෂී දවස ඒ 1995 ලස්සන දවසක්.

ඇය සුපුරුදු විදිහටම සැරසිලා ඉන්දියාවේ විශේෂ පුද්ගලයන් රැසක්ම සහභාගී වුණු උත්සවයකට සහභාගි වෙනවා.මෙහිදී සියලුම දෙනාගේ ඒකමතික තීරණය අනුව ඇය පරිසරයට සිද්ධ කළ ඒ උදාර සේවය වෙනුවෙන් 1995දී ඉන්දියාවේ ජාතික පුරවැසි සම්මානයෙන් පිදුම් ලබන්න වාසනාව ලැබෙනවා.

එතැන් පටන් ඇය සැබෑ පරිසර වේදිනියන් ට හිමි වූ දෙස් විදෙස් සම්මාන 50 කින් පිදුම් ලබන වාසනාවන්ත වුණා.ඇය කල සේවය තවදුරටත් පවත්වාගෙන යාමේ අදහසින් ඉන්දියානු රජය 2014 වසරේදී සාලුමරඩා තිමක්කා යන නමින් ජාත්‍යන්තර පදනමක් ස්ථාපිත කරන්නේ ඇයට තුති පිදීමක් වශයෙන්.

දරුවන් නොමැතිව දුකසේ කාලය ගත කරපු තිමක්කා අසරණ දරුවෙක්ටත් ආදරණීය මවක් වුණා.ඇය මේ දෙමාපියන් අහිමි දරුවෙක් හදා වඩා ගන්න තීරණය කරනවා.ඔහු බී එන් උමේෂ්.වසර සියය ඉක්මවා ආයුෂ වළදන්නට තිමක්කට වාසනාව ලැබුණු නිසා ඇය තමන්ගේ සැදෑ කාලය ඉතාමත් සතුටින් ගත කළා.

තවදුරටත් තිමක්කට ගස්වැල් හිටවන්න තරම් ශක්තියක් නැහැ.ඒ කාර්යය දැන් කරගෙන යන්නේ ඇය අරන් හදාගත්තු ඒ ආදරණීය පුතා.තිමක්ක දිළිඳු භාවය නිසා අධ්‍යාපනය ලබන්න හැකියාව ලැබුණේ නැහැ.නමුත් ඇය හදාගත්තු පුතාගේ ඊළඟ අභිමතාර්ථය තමයි දිළිඳු ඉන්දියානු දරුවන්ට සමානාත්මතාවයෙන් යුක්ත අධ්‍යාපන පහසුකම් සැලසීම.

ඉන්දියාවේ බොහෝ දෙනා අතර වෘක්ෂ මාතාව නමින් ප්‍රසිද්ධ වුණු ආදරණීය තිමක්කා ඇගේ ජීවන කාලයෙන් වසර 70ක පමණ කාලසීමාවක් ගස් වැල් හිටවන්න කැප කරලා තියනවා. ඒ සියලුම දේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ ඉන්දීය රජය මගින් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානය හිමිකර ගන්න 2009 වර්ෂයේ තිමක්කට වාසනාව ලැබුණා.

ඒ විතරක් නෙවේ අද වන විට ඇමරිකා එක්සත් ජනපදය ඇගේ නමින් පරිසර සංවිධානයක් ද තියනවා.වර්ෂ 2016 දී බීබීසී ආයතනය නම් කළ ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට ද තිමක්කා ඇතුළත් වුණා.අවසානයේ පරිසරයට තනි පුද්ගලයකුට වුණත් බලපෑමක් කළ හැකි කියන දේ මේ ආදරණීය චරිතය මුළු ලෝකෙටම පෙන්වා දී අවසන්ය.

ජීවිතයේ අපි පතන සියලුම දේවල් අපිට නොලැබෙන්න පුළුවන්.ඒ වගේම තමයි තිමක්කා දරු සම්පත් බලාපොරොත්තු වුණාට ඇයට දරුවෙකු ලබන්න වාසනාව ලැබුණේ නැහැ. නමුත් කිසිම ලාභ ප්‍රයෝජනයක් නොමැති ව කුස දරුවකු වෙනුවෙන් මල් යහනාවක් කරන්න බැරි උනාට මුළු ලෝකෙම මල් යහනාවක් කරන්න ඇය මේ වෙද්දි දරුවෝ අට දාහක්ම මුලු ඉන්දියාවට දායාද කර අවසන්. අන්න ඒ නිසයි ඇය සමස්ත ලෝකයටම පරමාදර්ශී චරිතයක් බවට පත්වුණේ.

 

මෙන්න බලන්න තවත් පුවත්