විදුලි මීටරේ ජනපද හදන කනෙයි මැස්සාගෙ වටිනාකම. නැවත කිසිදා ඔබ ඔවුන්ගේ ජනපද විනාශ නොකරාවි.

ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි.
එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක් විවිධ හේතු නිසා දිනකට විනාශ වෙනවා. ඒ සියල්ල අපට නැවැත්වීමට නොහැකි වුවත් ආරක්ෂා කල හැකි මී බිගු ජනපද හෝ අප ආරක්ෂා කල යුතුය. විදුලි මීටර් පෙට්ටිවල ඇති කනෙයි බිගු ජනපදත් එලෙස ආරක්ෂා කරගත හැකි ජනපද අතරට වැටෙනවා.

අප රටේ දක්නට ලැබෙන, පැණි රැස් කරන ප්‍රධාන බිඟු විශේෂ හතර තමයි. මීමැස්සන්, බඹරුන්, දඬුවැල්මැස්සන් හා කනෙයිමැස්සන් යන බිඟු විශේෂ හතර. මේ ප්‍රධාන බිඟු විශේෂ හතර, ‘විත සහිත බිඟුන්‘ හා ‘විත රහිත බිඟුන්‘ ලෙස නැවත ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මීමැස්සන්, බඹරුන් හා දඬුවැල්මැස්සන්, විත සහිත බිඟුන් ගණයට අයත් වන අතර, විත රහිත බිඟුන් ගණයට අයත් වන්නේ කනෙයිමැස්සන් පමණයි.

මේ විත සහිත බිඟුන් ඕනෑම අවස්ථාවක තම ප්‍රතිවාදීන්/ විලෝපිකයන්ට එරෙහිව තම විත භාවිත කිරීමට පසුබට නොවන අතර, එය ඔවුන් විසින් තම ජනපදයේ ආරක්ෂාව සඳහා භාවිත කරන ප්‍රධානතම ආරක්ෂක ක්‍රමවලින් එකක්. එහෙත්, කනෙයිබිඟුන් සතුව මේ හැකියාව නැති අතර, තම විලෝපිකයන්ට එරෙහිව ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. කෙසේ වුවත්, භෝග පරාගණය හා පැණි නිෂ්පාදනය සඳහා අතිශය වැදගත් බිඟු ලොව අහිංසකයා, කනෙයි මැස්සා ගැනයි අද අපි කතා කරන්නේ.

Tetragonula iridipennis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කනෙයිමැස්සන්, මුල්වරට විද්‍යාත්මක පසුබිමක හඳුනාගැනීම සිදු වන්නේ අප රට තුළ වීම විශේෂත්වයක්. ඒ, 1854දී, Frederick Smith විසින්. මේ බිඟු විශේෂය ඉන්දු-මැලේ කලාපයේ දැකගත හැකිමුත්, අන් බිඟුන් මෙන් නොව, එය අතිශයින්ම සීමාකාරීයි. කෙසේ වුවද, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ඉන්දුනීසියාව යන රටවල්වල කනෙයි බිඟුන් හොඳින් ව්‍යාප්ත වී සිටිනවා. නමුත් ලංකාවේ නම් මෙය ටිකක් වෙනස්. බොහො නිවෙස් වල විදුලි මීරට වල කනෙයි ජනපද අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම බොහො ජනපද විනා ශ  කරන්නට අපේ මිනිසුන් දෙපාරක් හිතන්නෙ නෑ. නමුත් ඔබ නොදන්න කාරණා තියනවා.

කනෙයි බිගු ජනපද සහිත මිටර් පෙට්ටි හමුවුවහොත් විදුලිබල මණ්ඩලය මගින් සාමාන්‍යයෙන් එම පෙට්ටි ජනපදත් සමගින් ඉවත් කර ප්ලාස්ටික් පෙට්ටි නොමිලේම සවිකරනවා. එසේ ඉවත් කරන ජනපදය නව ආරෂිත පෙට්ටියක තැන්පත් නොකලහොත් බොහෝවිට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඇතැම් පාරිභෝගිකයන් මෙම ජනපදවලට මෝටීන් ගසා විනාශ කිරීමට පවා පෙළෙඹෙන්නේ බිගුන් විදුලි මීටරයට හානි සිදුකරාවියැයි බියෙන්. එය කිසිසේත් අනුමත කල නොහැකියි.

විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

  • මුලින් ඔබ අයත් විදුලි පාරිභෝගික සේවා මද්‍යස්ථානයට ගොස් විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ඉවත් කිරීමට අවශ්‍ය බව දන්වන්න.
  • ඔවුන් එම රාජකාරියට දින කිහිපයක් ඇතුලත පැමිණෙන තෙක් බිගු ජනපදය තැන්පත් කිරීම සදහා කුඩා ලී පෙට්ටියක්, මැටි මුට්ටියක් හෝ ටින් එකක් ආදී ඕනෑම බිගුන් සදහා යොදා ගත හැකි ආරෂිත නිවාසයක් සූදානම් කර ගන්න.
  • බිගුන්ට පිටවීමට හා ඇතුල්වීමට එහි කුඩා සිදුරක් තබන්න.
  • විදුලි බල මණ්ඩල සේවක මහතුන් ජනපදය ඉවත් කරන දිනයේ ජනපදයේ පිලා, පරාග හා පැණි කොටස් ප්රවේශමෙන් සූදානම් කරගත් ආරෂිත නිවාසයේ තැන්පත් කරන්න.
  • රැජින හමුවුවහොත් ඇයද නව පෙට්ටියට දමන්න.
  • නව බිගු නිවස වර්ෂාවෙන් ආරක්ෂා වන පරිදි විදුලි මීටර් පෙට්ටිය අසලින්ම තැන්පත් කරන්න.
මෙමගින් ඔබගේ ගෙවත්තේ පමණක් නොව ඔබ අවට ශාක විශාල ගණනක බෝග පරාගනයට වසර ගණනාවක් දායක වූ කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වේවි. එය මාහැගි පුණ්‍ය කර්මයක් මෙන්ම පරිසර හිතකාමී කාර්යයකි. ඔබ අවට ශාකවල පැවැත්ම එම ජනපදය විසින් තවත් වසර ගණනාවක් යනතුරු තහවුරු කරාවි.
මේ අමාරු කාලයේ අපේ හිත් විසිරෙන්නට බොහොම ආසන්නයයි. ඉවසන්න. සතෙකුට වුණත් ආදරය කර්න්න අනුකම්පා කරන්න. එයින් ඔබට ලොකු සැනසීමක් දැනෙයි.
මෙන්න බලන්න තවත් පුවත්