මේ දිනවල වැඩකටයුතු මොනවා ද?

අවුරුදු 03ක සිට සියත නාලිකාවේ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසින් ස්ථිර රැකියාවක නියැළෙනවා. ඊට අමතරව පසුගිය කාලයේදී ‘මොනරවිලක්’ (තව ම තිරගත වී නැහැ) චිත්‍රපටයේ ත්, ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘අසංවර වැස්සක්’ ටෙලිනාට්‍යයේ ත් වේෂ නිරූපණ කටයුතු කළා.

වේෂ නිරූපණ ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ අයෙක් විධියට අතීතය පිළිබඳ යමක් කීවොත්?

දැන් මට අවුරුදු 75ක්. එනිසා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවී වැඩ කරන ප්‍රමාණය සීමා කළා. 1963දී රුක්මණී දේවි රංගනයේ සිටි අවධියේදී (එවකට ඇයට අවුරුදු 35-40ක් පමණ ඇති) තමයි මා වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රයට ආවේ. එවක බොහෝ චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා. රුක්මණී දේවි කියන්නේ කුඩා කල සිට ම මගේ කැමැති නිළියක්. එවකට බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ ‘මංගලිකා’ චිත්‍රපටයෙහි දර්ශන තලයට යාමට මට හැකි වුණා. එවිට මට අවුරුදු 16ක් පමණ ඇති. එදා එහි රූගත කිරීමක් අතරතුර ගැට ගසා තිබුණු රුක්මණී දේවියගේ දිගු වරලස එක්වර ම ගැලවුණා. එහිදී අහම්බෙන් වගේ එය නැවත පිළිවෙළකට සකස් කර දීමට මට අවස්ථාව ලැබුණා.

එවකට එම නළු-නිළි කණ්ඩායම සමග මා ඉතා කුළුපගව සිටි නිසා ‘ඔබට වේෂ නිරූපණ හැකියාව ඇති බව පෙනෙනවා. එනිසා අපගේ වේෂ නිරූපණ කණ්ඩායමට සම්බන්ධ වෙන්න’ යනුවෙන් රුක්මණී දේවි මට ආරාධනා කළා. ගෙදර අය සමග ත් සාකච්ඡා කොට එයට සම්බන්ධ වුණා. එතෙක් ලංකාවේ කළු-සුදු චිත්‍රපටවල වේෂ නිරූපණ කටයුතු කළේ ඉන්දීය ශීල්පීන්. මුලින් ම සහය වේශ නිරූපණ ශිල්පියෙකු විධියට තමයි සම්බන්ධ වුණේ. මේ ගමන ආවේ අඩියෙන් අඩිය නොදන්නා දේ ඉගෙන ගනිමින්. එදා සිට ඇයගේ චිත්‍රපට ගණනාවකට ම රුක්මණී දේවි මාව සම්බන්ධ කර ගත්තා.

අංග රචනා ශිල්පියෙකු වශයෙන් මුලින් ම ලබා ගත් මුදල මතක ද?

ඒ කාලයේ හැටියට ‘අංග රචනය’ යනු වෘත්තීයමය වටිනාකම සහිත රැකියාවක් කියන දේ පිළිබඳව මා තුළ එතරම් තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ වෘත්තියට අය කළ යුතු මුදල සම්බන්ධව ත් මට දැනීමක් තිබුණේ නැහැ. එනිසා මා රුක්මණී දේවියට දුරකතන ඇමතුමක් දී මා අය කළ යුතු මුදල සම්බන්ධව විමසුවා. මුල් කාලයේදී පැය 08ට තමයි අය කළේ. මුල් පැය 08 අවසන් වූ පසු ඊළඟ පැය 08දී මුදල දෙගුණ වුණා. ඉන්පසුව කොන්ත්‍රාත් පදනම පැමිණියා. 60 ගණන්වල අග භාගයේදී නිර්මාණයකට මා අත්සන් කොට මුලින් ම ලබා ගත්තේ රුපියල් 4000ක් වගේ මුදලක්. පසුව මා චිත්‍රපට රාශියකට ම සම්බන්ධ වුණා. රැකියාවක් කරනවා කියන දේට වඩා එදා අපි මේ රැකියාව කළේ විනෝදයෙන් සහ ප්‍රීතියෙන්.

එදා පැවති සිනමාව පිළිබඳව අද ඔබට මොක ද සිතෙන්නේ?

එදා නිෂ්පාදකවරු චිත්‍රපටයක් කර පාඩු ලැබුවා කියා කිව්වෙ ත් නැහැනේ. එයින් ලැබෙන මුදල කීය වුව ත් අදාළ කොටස්කරුවන්ට සාධාරණ ආකාරයට එය බෙදා දුන්නා. දැන් ගොඩක් චිත්‍රපට බිහිවන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්. පසුව සල්ලි සෙවීමේ පදනම් මත ම චිත්‍රපට නිපදවන යුගයකුත් ආවා. ඒ වාණිජ චිත්‍රපට පැමිණි කාලය යි. ගාමිණී-මාලනී, විජය-මාලනී යුගය, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි අයට එහි ප්‍රධාන තැනක් හිමි වුණා. එකල සම්භාව්‍ය චිත්‍රපට අඩුවෙන් බිහි වූ අතර වාණිජ සිනමා නිර්මාණ බහුලව බිහි වුණා. කලා ක්ෂේත්‍රයේ පැරණි සහ දැනට ජීවතුන් අතර නොමැති බහුතරක් සමග වැඩ කොට අත්දැකීම් රැසක් ලැබුවා. වාණිජ සහ සම්භාව්‍ය යන දෙවර්ගය තුළ ම අංග රචනාවන් සිදුකළ යුතු ආකාරය පිළිබඳව මා සතුව අත්දැකීම් තිබෙනවා.

එකල සිනමා අධ්‍යක්ෂවරයාට අංග රචනා ශිල්පියාගේ සේවාව අවශ්‍ය වූයේ කොයි ආකාරයට ද?

එදා බහුතරයක් අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය වුණේ බොහෝ විට ප්‍රධාන චරිතය ඉස්මතු කරවීම යි. මේක්අප් එකක් අවශ්‍ය නමුත් නළු-නිළියන්ගේ මුහුණේ වර්ණ තවරා යක්ෂණියන් වැන්නවුන් බවට පරිවර්තනය කරනවාට ඔවුන් කැමැති වුණේ නැහැ.

අංග රචනා ශිල්පියෙකුගේ කාර්ය භාරය ඔබගේ වචනයෙන් හැඳින්වුවහොත්?

නිවැරදි අංග රචනාවක් යනු මුහුණේ වර්ණ රාශියක් තවරා, තොල් දෙක තද රතු කොට, ඇහි බැම තව ටිකක් කළු වර්ණයෙන් වර්ණ ගැන්වීම නොවෙයි. මුහුණේ තිබෙන නාසය, මුඛය, තොල් ආදිය කැමරාවට ගැළපෙන ආකාරයට ඉස්මතු කිරීම සහ මුහුණේ හඳුනාගත හැකි ඉරියව් පැහැදිලිව ඔප්නැවීම යි. ඉරියව් ඉස්මතු කිරීම පවා ඉතා ම සියුම්ව කළ යුතු යි. සම්භාව්‍ය චිත්‍රපටයකදී යම් චරිතයක් කැමරාවට උචිත ආකාරයට ත්, අදාළ චරිතය රංගන ශිල්පියා තුළින් ඉස්මතු වන ආකාරයට ත්, මතුපිටින් එහි කෘත්‍රිම බවක් නොදැනෙන ආකාරයට ත් පරිවර්තනය කළ යුතු ය. ඒ අයුරින් නිවැරදි අංග රචනයන් කරන අය අද හරි අඩු යි. සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගඟ අද්දර, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අහසින් පොළොවට, බැද්දේගම, කලියුගය වැනි චිත්‍රපට ගණනාවක ත්, විජය ධර්ම ශ්‍රී වැනි සම්භාව්‍ය චිත්‍රපට රාශියක් කලාවට බිහි කළ අය සමග ත් මා වැඩ කළා.

අංග රචනාව වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය අංශ ත්‍රිත්වයේදී වෙනස් වන්නේ කොයි ආකාරයට ද?

එදා සම්භාව්‍ය සිනමාවේදී කැමරා සඳහා භාවිත කළ දළ සේයා පටල වර්ග කිහිපයක් ම තිබුණා. ඒවායින් රූප රාමුවකට යම් වර්ණ ප්‍රමාණයක් එකතු වුණා. කළු-සුදු චිත්‍රපටවල වේෂ නිරූපණ කාර්යය පහසු යි. යොදන මේක්-අප් එක වැඩි වුවහොත් කැපී පෙනීමක් සිදුවුණා. එදා කළු-සුදු චිත්‍රපටවල බොහෝ නිළියන්ගේ දෙතොල් තද කළු පාට යි. එයට හේතුව එදා ඔවුනගේ තොල් ආලේපන වර්ණය වූයේ තද රතු වර්ණය යි. තද රතු පාට කළු-සුදු තිරය තුළින් පෙනුණේ තද කළු පාටට යි. වේෂ නිරූපණ ශිල්පීන් වශයෙන් 50/60 ගණන්වලදී අප එය ක්‍රමයෙන් වෙනස් කර ගත්තා.

එදා අපේ සිනමාවේ සියල්ල සිදුවුණේ දකුණු ඉන්දීය ආභාසය මත යි. පසුකාලීනව අපේ රටෙ ත් දක්ෂ අධ්‍යක්ෂවරුන් බිහි වූ නිසා අපේ සංස්කෘතියට, දේශගුණයට සුදුසු ආකාරයට වේෂ නිරූපණයන් වෙනස් කර ගත්තා. බොහෝ විට නළුවන්ට එදා අපි මේක්අප් භාවිත කළේ ම නැති තරම්. අද තාක්ෂණයෙන් දියුණු කැමරා තිබෙන නිසා ටෙලි නාට්‍ය තුළදී ත් කැමරාවන්ට උචිත ආකාරයට වේෂ නිරූපණයන් සිදුවේ. කැමරා තාක්ෂණය ත් කාලෙන් කාලයට යාවත්කාලීන වෙනවා. එනිසා අංග රචනය ත් ඊට ගැළපෙන්නට යාවත්කාලීන විය යුතු යි. එදා මම 1960 දශකයේදී දැමූ මේක්අප් එක අද කළොත් මට පැවැත්මක් නැහැ. එදා මම ගොඩක් වැඩ කළ නිසා අත්දැකීමෙන් වෙනස් වීම කියන දේට සාර්ථකව මුහුණ දිය හැකි යි. සාර්ථක අංග රචනයක් පිටුපස ඇත්තේ තමාගේ අතේ හුරුව සහ අත්දැකීම් බහුලත්වය යි.

සබීතා පෙරේරා මහත්මිය සමග වැඩ කටයුතු කිරීම ගැන කීවොත්?

සබීතාව තිරයට හඳුන්වා දුන්නේ මම. ඇයගේ මව-පියා දෙපළ ම කලා ශිල්පීන් නිසාවෙන් ඔවුන් සමග මා ඉතා ම සුහද යි. සබීතා කුඩා කල සිට ම මා හඳුනනවා. ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂවරයාගේ නවතම චිත්‍රපටයකට නවක නිළියක් සොයන අවස්ථාවේදී මා ඔහුට සබීතාගේ නම යෝජනා කළා. ඒ ආරාධනය මත යි සබීතා සිනමාවට සම්බන්ධ වුණේ. රතු රෝස ටෙලි නාට්‍යයේ චාපාට රඟපෑ වන්දනා ලියනාඅරච්චි ද මා හඳුන්වා දුන් නිළියක්. සංගීතා වීරරත්නව එච්.ඩී. ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටයට සම්බන්ධ කළෙ ත් මම. මගේ විවාහ මංගල්‍යයේදී බිරියගේ යෙහෙළියන් වූණේ සබීතා පෙරේරා, නදීකා ගුණසේකර, ශ්‍රිරානි නුගේරා වැනි චිත්‍රපට නිළියන් 4 දෙනෙක්. මගේ විවාහයට අත්සන් කළේ විජය කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා.

විජය කුමාරතුංග මහතා සමග තිබුණු හිතවත්කම ගැන කීවොත්?

එකල ඔහු විවිධාකාරයේ විග්ස් වර්ග භාවිත කළා. ‘හන්තාන කතාව’ කරන කාලෙදි ඔහුට ම ආවේණික වූ කොණ්ඩයක් ඔහුට තිබුණා. (ඔහුගේ හිසකෙස් ඇතිව රඟපෑ චිත්‍රපට කිහිපයක් ම තිබෙනවා). ඔහුගේ හිසකෙස් යාම ක්‍රමයෙන් ආරම්භ වුණෙ ත් ඒ කාලෙදි ම යි. එකල ඔහු සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ රංගනයට පැමිණියා. විජයගේ සැබෑ හිස කෙස්වලට සමාන කොරියාවෙන් ගෙන්වන ලද විග් එකක් මගේ ළඟ තිබුණා. ගඟ අද්දර චිත්‍රපටයේදී විජයගේ හිසකෙස් සමග මා ළඟ තිබුණු විග් එක යොදාගෙන ඉතා ම අලංකාර ලෙසින් කොණ්ඩයක් නිර්මාණය කළා. විජයගේ කේෂ විලාසිතාව දුටු සුමිත්‍රා පීරිස් මහත්මිය ත් ඉතා ම සතුටට පත් වුණා. එයින් පසුව විජය කුමාරතුංග මහතා මරණයට පත්වන තුරු ම භාවිත කළේ මා සකස් කොට දුන් විග් එක යි.

ගාමිණී ෆොන්සේකා මහතා සමග වැඩ කිරීම කොයි වගේ අත්දැකීමක් ද?

ඔහුගේ ත් විවිධාකාර වූ කේෂාලංකරණ කටයුතු මා අතින් සිදුවුණා. ඔහු අවසානයට සම්බන්ධ වූයේ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ‘යකඩ යකා’ චිත්‍රපටයට. මේක්අප් ටෙස්ට් එක සිදුකොට මාස 03කට පසුව ඔහු මිය ගියා. චිත්‍රපටය රූගත කිරීමට නොහැකි වුණා. වේෂ නිරූපණ පරීක්ෂණය අතරතුරදී ගාමිණී මහතා සමග මා ලබා ගත් ඡායාරූප කිහිපයක් තවමත් මා සතු යි. ගාමිණී ෆොන්සේකා මහතා අවසන් වරට වේෂ නිරූපණ කටයුතු සිදු කළේ මා සමග යි.

(මව්බිම)

මෙන්න බලන්න තවත් පුවත්