වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා සීගිරියේ ජල තාක්ෂණයෙන් අඩි 100 උස කන්දේ තියෙන පාසලට පුදුම හිතෙන විදිහට වතුර අරගෙන

අපි හැමදාම විවිධ වර්ගයේ පුවත් අරගෙන එනවා. නමුත් අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් ගැන. ඇත්තටම මේ කාලයේ හොද පුවතක් අහන්න නැති තරම්. අහන්න තියෙන්නෙ දුක හිතෙන එහෙම නැත්නම් කරදරකාරී පීඩාකාරී පුවත්. මේ පුවත් අතුරින් මට හම්බුනා ටිකක් විශේෂ කතාවක්. ඇත්තටම මේ කතාවටත් කඳුළු එනවා. හැබැයි දුකට නෙවෙයි, සතුටට. අපේ රටේ ජීවත්වන පුද්ගලයින් ගැන සතුටු හිතෙන පුවතක්. මේ ලිපිය කියවා අවසන් වන විට ඔයාටත් හිතෙයි අපේ රටේ තවමත් මනුස්සකම අපේ මිනිස්සුන්ගේ හිත් තුළ රැඳිල තියෙනවා කියලා. ඒ වගේම ඔයා ගොඩක් ආඩම්බර වෙයි තවමත් වටිනා කියන මිනිස්සු අපේ රටේ ජීවත් වෙනවා කියලා. හරි එහෙනම් යමු අපේ කතාවට.

අද කතා කරන්න යන්නේ ඉස්කෝලයක් ගැන. මේ තමයි වවලස්බැද්ද විද්‍යාලය. ඈත ගමක පිහිටි මේ විද්‍යාලය මෑත කාලයේ දී හරිහැටි ජනප්‍රිය වුණා. මම හිතනවා අපේ හිතවතුන් මේ විද්‍යාලය ගැන කනින් කොනින් හරි අහල ඇති.

ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද විදුලි බලය හාරි සූර්ය කෝෂ හරි නොමැතිව කන්දක් මුදුනේ තියෙන පුංචි පාසලකට විදුලිය ගන්න පුළුවන් කියලා? ඔයාලා විශ්වාස කරනවද මෝටරයක් නැතුව කන්ද මුදුනේ තියෙන පාසලට වතුර ගන්න පුළුවන් කියලා? විශ්වාස කරනවාද බැටරියක් හෝ කිසිම බලයක් නැතුව ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙයි කියලා. විශ්වාස කරන්නේ නැහැ නේද? නමුත් මේ පිටිසර දුෂ්කර පාසලේ මේ හැමදේම කෙරෙනවා. ඉතින් ඒ ගැන තමයි අද අපි හොයලා බලන්න යන්නේ.

වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තමයි තිබුණේ. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ. ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේ. කුඹල්වල බස්‌රථයෙන් හල්පේට ගිහින් එතැන ඉදලා වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කරලා තමයි මේ ඉස්කෝලෙට එන්න ඕන. ඒ නිසාම වලස්‌බැද්ද ඉස්‌කෝලෙට කිසිම ගුරුවරයෙක් එන්නට කැමති වූණේ නැහැ. එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් මේ පාසල දාලා පහසුකම් තියෙන පාසලකට යන්න තමයි බලන්නේ.

කෙසේ වෙතත් වලස්‌බැද්ද ඉස්‌කෝලය මුලින් සාර සුබාවට තිබුණු එකක්. ඒ ඉස්‌කෝලයේ මුලින්ම සිසුන් 400 ක්‌ පමණ ඉගෙන ගෙන තියෙනවා. එහෙත් 1994 පමණ වනවිට පාසලේ සිටියේ දරුවන් 20 ක්‌ පමණයි. දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙට එන්නේ ඔය අස්‌සේ. දයානන්ද මහත්තයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙට එන්න කලින් හිටියේ බොහෝම ගෞරවයට පාත්‍රවෙමින් තිබුණ බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසයි. ඉන් පස්‌සේ පේරන්දෝරුව විදුහලේ විදුහල්පතිව සිටි ඔහු වැහෙන්නට යන වලස්‌බැද්ද ඉස්‌කෝලෙට එන්නේ වර්ෂ 1994 දී. අද වලස්‌බැද්ද ඉස්‌කෝලේ ඌව පළාතම බබළවන පාසලක්. මේ වනවිට පාසලේ දරුවෝ දෙසීය තිස්‌පහක්‌ අධ්‍යාපනය ලබති. වලස්‌බැද්ද පාසල ගොඩනැගූ දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා ඒ දුෂ්කර වු සද්ක්‍රියාව ගැන මෙහෙම කියලා තියෙනවා.

“මං දැනගෙන හිටියා මට තියෙන අභියෝගය ගැන. මං ඇවිත් හිටියෙ ඈවර කරන්න හදන පාසලකට. මේ වගේ ඉස්‌කෝලයක්‌ ගොඩනගන එක ඉතාම සරල දෙයක්‌ නෙමෙයි. මොකද ආකල්පමය වශයෙන්ම ඉස්‌කෝලෙ මිනිස්‌සුන්ගෙන් ඈත් වෙලා තිබුණෙ. පාසල් වත්ත වත් නෑ.

අක්‌කර 05 ක්‌ පමණ තිබෙන පාසල් වත්ත අහල පහල අය අල්ලා ගෙන තිබුණා. ඒ නිසා පාසල් භූමිය නිරවුල් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්න මුලින්ම සිද්ධ උනා. නොයෙක්‌ බාධක ආවා. තර්ජන ආවා. ඒවා එච්චර හිතුවෙ නෑ. අන්තිමට පාසල් වත්ත නිරවුල් කරගත්තා.”

“මුලින්ම පාසලේ භෞතික සම්පත් ටික දියුණු කළ යුතු වුනා. ඉස්‌කෝලෙට වතුර තිබුණෙ නෑ. කම්කරුවා උනෙත් මම… ඉංජිනේරුවා උනෙත් මම… අන්තිමට මං පරීක්‌ෂණ කරලා වතුර මෝටරයක්‌ නොමැතිව අඩි සීයක්‌ පමණ ඉහළින් තියෙන ඉස්‌කෝලෙට ජලය ලබා ගත්තා… ඒ වැඩේ සරලව කියනවනම් මෙහෙමයි සිද්ධ උනේ… මං ළිං පත්ලට උමගක්‌ කපලා අඟල් 6 ක බටයක්‌ එළුවා. එතෙන්ට අඟල් පහ හමාරක බටයක්‌ සවි කරලා පියවරෙන් පියවර ඉහළට එන්නට කුඩා බට යොදා ගත්තා… ඒ ක්‍රමයට මට මුළු පාසලටම වතුර දෙන්න පුළුවන් උනා…”

“ අතීතයේ සීගිරියේ ගල මුදුනටම ජලය ගෙන ගියෙත් මේ මූලධර්මය පාවිච්චි කරලා. වතුර මෝටරයක්‌ නැතිව පාසල් භූමියෙ අඩි 100 ක්‌ උසට වතුර ගෙනිච්ච අපි පාසල් භූමියේ වතුර මල් පවා සවි කර තිබෙනවා. මෙම නිර්මාණයට හිමිකම් පත්‍රයක්‌ (පේටන් බලපත්‍රයක්‌) ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස්‌ කර ගෙනයන බැවින් එම ජල සැපයුම් ක්‍රමය පිළිබඳව අදාළ කරුණු සම්පූර්ණයෙන්ම අනාවරණය කිරීමට නොහැකියි. මේ වන විට විදුහලේ සියලුම අවශ්‍යතාවයන් සඳහා මෙම ළිඳෙන් වසර පුරාවටම ජලය ලබා ගන්න පුළුවන්. කිසිම වියදමක්‌ යන්නේ නැහැ.”

“ පාසලට විදුලිය තිබුණෙ නෑ.. පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක්‌ හැදුවා… විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට්‌ රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්… විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්… මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක්‌ සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස්‌ කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක්‌ වැනි) නිසා මෙහි ස්‌විචයක්‌ දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ… ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක්‌ ක්‍රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක්‌ සිදු වෙනවා. විදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. ඒ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක්‌ සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්‌ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා…”

“මෙය සැකසීම සඳහා මම භාවිතා කලේ අපතේ යන දේවල්. නිෂ්පාදනයට මට වැය වුණේ රුපියල් 3500 ක මුදලක්‌ පමණයි. ඉදිරියේදීත් මෙය තවත් වැඩි දියණු කර මෙම ජංගම විදුලි උත්පාදන යන්ත්‍රය වෙළෝදපළ සඳහා නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න මං හිතාගෙන ඉන්නවා. දැනට මේ උපකරණයට පේටන්ට්‌ බලපත්‍රය ලබාගන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ.”

“මේ විදිහට පියවරෙන් පියවර පාසල ගොඩනැගෙද්දී දෙමව්පියන් පාසල වටා එකතු වුණා. දෙමව්පියන්ගේ සිත්ද දිනාගනිමින් පාසල ගොඩනගද්දී දිනෙන් දින පාසලට සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු වන්නට වුණා. වසර කිහිපයක්‌ යනවිට 9 ශ්‍රේණිය දක්‌වා පන්ති පැවැත්තුවා. ඉතින් 10 ශ්‍රේණීය සමත් සිසුන් ඒ ආසන්න පාසලකට ගියා. ඒත් ඒ විදුහලේ විදුහල්පතිවරයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙන් 10 පන්තියට එන ළමයින්ව “හිඟන්නෝ මේ පාසලට ගන්නේ නැහැ” කියලා අමානුෂික විදිහට එළවගෙන තිබුණා. අවසානයේදී අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවසරය සමගින් තාවකාලික මඩුවක්‌ තුළ සාමාන්‍ය පෙළ දක්‌වා පන්ති ආරම්භ කළා. පසුව එය උසස්‌ පෙළ දක්‌වා වර්ධනය කළා.”

“අන්තිමට 2013 අවුරුද්දෙ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දරුවෝ සියලුම දෙනා විභාගයෙන් සමත් කරන්න අපට හැකි වුණා. අපේ රටේ දරුවො දක්‌ෂයි… මේ පුංචි ක්‍රිඩා පිටියෙ පුහුණු වෙච්චි දරුවො සමස්‌ථ ලංකා තරගවලින් දිනුවා… කථික තරග වලින්, සාහිත්‍ය තරග වලින් ජාතික මට්‌ටමෙන් දස්‌කම් දැක්‌වීමටත් අපේ ඉස්‌කෝලෙ දරුවන්ට හැකි වුණා…”

මේ පුදුමාකාර ගුරුතුමා අපව මවිත කරනවා නේද? මෙහෙම මිනිස්‌සු මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ ඉතිරිවී ඇති බව දැනෙන විට ඊටත් වඩා පුදුම හිතෙනවා නේද?. සැතපුම් තුනහමාරක්‌ පා ගමනින් එන විදුහල්පතිවරයා පාසල උදෑසන 6.30 ට ආරම්භ කර භාවනා වැඩසටහනක්‌ පවත්වනවා. විදුහලේ අනෙකුත් ගුරු පිරිවර උදෑසන 7.30 වන විට පාසලට පැමිණ සිසුනට ඉගැන්වීම් කටයුතු මැනවින් සිදුකරනවා. දැන් බණ්‌ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සෑම දෙනා අතර ජනප්‍රියම සුවිශේෂී පාසල වලස්‌බැද්ද ඉස්‌කෝලේ. මේ ඉස්‌කෝලේ ගැන තවත් අරුම කතා බොහෝ තියෙනවා.

වලස්‌බැද්ද අවට හැම ඉස්‌කෝලෙකටම විද්යුත් ඔරලෝසු ලැබුණා. ඒත් වලස්‌බැද්දට ලැබුණේ නැත. ඉතින් මේ අරුම පුදුම විදුහල්පති තුමා ඇස්‌බැස්‌ටොස්‌ ෂීට්‌ එකක්‌ උපයෝගී කරගෙන බැටරි බලයෙන් හෝ වයින් නොකර ක්‍රියාකරන ඔරලෝසුවක්‌ හැදුවා. යු හැඩයේ නළයකට පුරවා ඇති ජල බිංදු මගින් මේ ඔරලෝසුව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ ඔරලෝසුව තුන් වරක්‌ කිසිවෙක්‌ විසින් කඩා ඇති බවත් ඔවුන් පවසනවා.

අවසානයේ එහි තාක්‌ෂණික ක්‍රියාකාරීත්වය එළිදක්‌වන කොටස ගලවා ඉවත්කර තැබීමට විදුහල්පතිවරයා පියවර අරන් තියෙනවා.

මේ ඉස්‌කෝලේ හරි පුදුම ඉස්‌කෝලයක්‌ වන්නේ මේ වික්‌ෂිප්ත තාක්‌ෂණික මෙවලම් නිසාම නෙවෙයි. ඒ වෙන කිසිම පාසලක අපට ප්‍රකට නොවන විනයක්‌ මේ ඉස්‌කෝලේ තිබීම නිසායි. ස්‌වයං විනයක්‌ පවත්වා ගැනීමට දරුවෝ මෙහෙයවා තිබෙනවා.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී බිස්‌කට්‌ පැකට්‌ එකක්‌වත් රැගෙන ඒම තහනම්. ඔවුන් රැගෙන ආ යුත්තේ බුලත් හුරුල්ලක්‌ විතරයි. එම දරුවන්ට පාසල් බෑගය සහ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලැබෙන්නේ විදුල්පතිවරයාගේ පඩියෙන්. නිවාසාන්තර ක්‍රීඩා උළෙළ තිබුණද එයටද මුදල් එකතු කිරීම තහනම්. සහතික පත් සහ අනෙකුත් වියදම් සඳහාද මුදල් ලැබෙන්නේ රත්නායක විදුහල්පතිවරයෙගේ සාක්‌කුවෙන්.

ඒ සඳහා විදුහලේ ගුරු මණ්‌ඩලයද නිරන්තරයෙන් දායකත්වය ලබා දෙනවා. විදුබිමේ වගා කරන ලද ගොටු කොළ වගාවෙන් නෙළන අලුත්ම ගොටුකොළවලින් සතියකට වතාවක්‌ සිසු දරුවන්ගේ පෝෂණය නංවාලීම සඳහා කොළ කැඳ ලබාදීම සිදුකරනු ලබනවා. පාසලේ සරුවට වැවී තිබෙන කෙසෙල් වගාවේ අස්‌වැන්න දිනපතාම වාගේ සිසු දරුවන් හට ආහාරයට ලැනෙනවා.

ඒ වගේම විදුහල්පතිවරයාගේ කෙතේ වගා කරනා දේශීය වී වර්ග සහල් කර මත තබා ගෙන සැතපුම් ගණන් දුෂ්කර මාර්ගයේ පා ගමනින් ගෙනවිත් පාසලට පැමිණෙන සියලු දෙනාටම ආහාර සකස්‌ කරදෙන්නට එතුමා කටයුතු කරනවා.

ඉතින් පේනවා නේද මෙච්චර හොඳ මිනිසුන් අපේ රටේ තවමත් ඉන්නවා. ඉතින් ඒක සතුටට කාරණාවක් නේද? මේ වගේ තව මිනිසුන් සිටියොත් අපේ රට කොච්චර ලස්සන වෙයිද?

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්