ලාංකීය සිනමාව තුළ විවිධ වූ තේමාවන්, රසයන් මෙන්ම වයස් පරාසයන්ට වෙන්වූ විවිධ සිනමා නිර්මාණයන් පිළිබඳ අපට නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙනවා.
එකී සිනමා නිර්මාණ අතරින් ලංකාවේ පළමු වරට භාෂා ත්‍රිත්වයකින් නිර්මාණය වූ තවත් අපූර්ව සිනමා නිර්මාණයක් මේ දිනවල බොහෝ දෙනාගේ ඇස ගැටී තිබෙනවා.

බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතර ආදරය දිනූ රෝස කැලේ , සමාරා , ජූලි හතයි වැනි චිත්‍රපට නිර්මාණ මෙන්ම ටෙලි නාට්‍යයන් ද රැසක ද අධ්‍යක්ෂවරයකු වන සංජය නිර්මාල් නම් ප්‍රවීණ නිර්මාණවේදියාන්ගේ නිර්මාණයක් ලෙසින් කරළියට එන වෙනස්ම මගක්ගත් චිත්‍රපටයක් වන ප්‍රාණ චිත්‍රපට නිර්මාණය පිළිබඳව සංජය නිර්මාල් නම් ඒ නිර්මාණවේදියාණන් සමඟ අප මෙසේ පිළිසදරක යෙදුණා.

චිත්‍රපටයකට ” ප්‍රාණ ” වගේ නම තියන්න විශේෂ හේතුවක් තියෙනවාද ?

ඇත්තටම, මේකෙ original චිත්‍රපටිය විදියට අපි කළේ ඉංග්‍රීසි චිත්‍රපටයක්. එකේ නම තමයි Seeds කියලා කියන්නේ.
Seeds නම ආපු විදිය ගැන කියනව නම්, මන්නාරමේ සංහාය අළලා ගොඩනැඟුණු කුත්තු ( මන්නාරම අවට ප්‍රදේශවල පවතින ජන නාට්‍ය විශේෂයක් ) නාට්‍යයෙහි නම විත්තක්කල් ලෙස පවතිනවා. විත්තක්කල් යන්නෙහි තේරුම බීජ නොහොත් seeds නිසා අපි seeds යන නම ඉංග්‍රීසි චිත්‍රපටියේ නාමය ලෙස භාවිතා කරා. නමුත් මෙම සංහාරය තුළ තම විශ්වාසය වෙනුවෙන් සිදුවූ ප්‍රාණ පරිත්‍යාගයේ ආදර්ශය සිහිවීම පිණිස අපි සිංහල චිත්‍රපටයේ නම “ප්‍රාණ” ලෙස තැබුවා. එසේ ම දමිළ භාෂාවෙන් චිත්‍රපටයේ නාමය ලෙස අපි “විත්තක්කල්” නාමය ම තැබුවා.

සත්‍ය යනුවෙන් යමක් පවතී නම් එය කිසි කලෙක මරා නවතා දැමිය නොහැකි බව මේ චිත්‍රපටයේ ආත්මය වන නිසා ඒ කිසිකලෙක නොමැරෙන බීජ මය ගුණය චිත්‍රපටයට නම තැබීමේදී අපිට බලපෑවා.

ලංකා ඉතිහාසය තුළ ක්‍රි.ව 1544 දී මන්නාරමේ එවකට විසූ 1 වනි සංකිලි රජු විසින් ක්‍රිස්තියානි වැළඳගත්ත 700 පමණ ක පිරිසක් සමූලඝාතනය කර සමූහ මිනී වළලාදැමීමේ සිදුවීමක් තමයි මේ කතාවට පාදක වෙන්නේ.

සත්‍ය සිදුවීමක් චිත්‍රපටයකට තේමාවක් විදියට තෝර ගත්තෙ ඇයි ?

ඒ ගැන කියනවනම්, අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය ගැන. මේ ප්‍රහාරයෙන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි වුණා. මේක පිටිපස්සේ දේශපාලන ක්‍රියාවලියක් තියෙනවා. යමෙකුගේ දේශපාලනය සහතික කරගන්න plan කරලා මිනිස්සු මරලා ඒ ඇතිවන අනාරක්ෂිත තත්ත්වය ඔස්සේ යමෙක් රජවෙන්න ගහපු ගේමක් කියලා කිව්වොත් මම හිතනවා නිවැරදියි කියලා. මේ සිද්ධියෙන් ඇතිවෙන කම්පනය අපි ජීවත් වෙලා ඉන්න කාලේ දැනෙනකොට ඒ සිද්ධියේ සාධාරණය යට යනකොට ඒ ගැන යමක් නිර්මාණය කරන්න මම උත්සහ කර කර ඉන්නකොට තමයි මේ කතාව මට හසුවුණේ. මන්නාරමේ මේ සිදුවීම අපිත් ඇත්තටම මේ ගැන දැනගෙන හිටියේ නෑ. 700ක් සමූල ඝාතනය කරපු ඒ සිද්ධිය කොහොමද ඉතිහාසය පොතෙන් නැතිවුණේ. ඓතිහාසිකව සිද්ධ වෙන මේවැනි සිද්ධීන් ඉතිහාසය තුළින් මැකී යාමත් පාස්කු ප්‍රහාරයෙන් ඇතිවුණු කම්පනයත් චිත්‍රපට නිර්මාණකරුවෙක් හැටියට මම පිට කරගත්ත විදිය තමයි SEEDS කියලා කියන්නේ.

මේ චිත්‍රපටය රූගත කරන්න කොපමණ කාලයක් ගත වුණාද?

ඇත්තටම අපි මේ චිත්‍රපටය කරන්නේ රටේ තිබුණ අභාග්‍ය සම්පන්න කාලයේ. ඒ කියන්නේ කොරෝනා වසංගතය හැදිලා මන්නාරමටත් කෝවිඩ් පැතිරෙමින් තිබුණ කාලයේ. කොහොමහරි අපි අවුරුදු දෙකක් පමණ කාලයක් මේකෙ වැඩ කටයුතු කළා.

මන්නාරම කැලණිය, නුවර යන ප්‍රදේශ වල තමයි ගොඩක් මේ චිත්‍රපටයේ රූගත කිරීම් වලට අපි තෝරා ගත්තේ.

මේ චිත්‍රපටය අපි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිර්මාණය කරලා තියනවා.

නළු නිළියන් තෝරා ගැනීමේදී විශේෂත්වයක් තිබුණද ?

මම උත්සාහ කළේ චරිතයට හරියටම හරියන කෙනාව තෝරගන්න. චිත්‍රපටියෙ දේශීය නළු නිළියන් වගේම විදේශීය නළු නිළියන් කිහිප දෙනෙකුත් රංගනයෙන් දායක වෙනවා.

මේ සිනමාපටයේ චරිත නිරූපණයෙහි ට්‍රේ හික්ස්, නිරංජනී ශන්මුගරාජා, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජා යන අය ද කින්ග් රත්නම්, නීටා ප්‍රනාන්දු, සෙනේෂ් දිසානායක, රොබට් සියේරා, දිනේෂ් සිල්වා, වගීෂා සල්ගාදු, කල්ප මුණසිංහ ඇතුළු රංගන ශීල්පීන් පිරිසක් මේ සදහා සම්බන්ධ වනවා.

චිත්‍රපටයට දායක වුණ අය ගැනත් කතා කරමු

ඔව් , ඒ ගැන කතා කරනවනම් මුලින්ම මතක් කරන්න ඕනේ චිත්‍රරපටයේ නිෂ්පාදක ජානක පෙරේරා මහතාව.

මේ තරම් අර්බුදකාරී වෙලාවක මේ වගේ චිත්‍රපටයක් කරන්න ජානක ගත්ත තීරණය ඉතා අභියෝගාත්මකයි ඔහුගේ එම තීරණය නොවන්නට මේ චිත්‍රපටය බිහි නොවන්නට තිබුණා.

ඒවගේම අපේ කණ්ඩායම ගැන සඳහන් කළොත් කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත, අංග රචනයෙන් බුවනෙක රණවක, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, ශබ්ද ප්‍රයෝග සහ ශබ්ද සංකලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, නිෂ්පාදන සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ඇන්තනී නිශාන් පියතුමා සමඟින් රංජන් ප්‍රසන්න ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද, විධායක නිෂ්පාදනයෙන් ප්‍රසාද් හර්ෂන් පියතුමන් ද කළමනාකරණය ගයාන් කෝසල ද යන මේ හැමෝම චිත්‍රපටයේ නිර්මාණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා.

චිත්‍රපටයක් නිර්මාණයේ දී ඔබට හමුවන අභියෝග මොනවාද ?

ලංකාවේ චිත්‍රපටයක් කරන්න හිතෙන එකම ලොකු අභියෝගයක්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝක සිනමාවේත් ඒ ඒ චිත්‍රපට නිර්මාණකරුවන්ට ඒ ඒ අයගේ මට්ටමින් අභියෝග තියෙනවා.

මම මේ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් කළේම මේකේ ඕඩියන්ස් එක පොඩ්ඩක් වැඩි කරගන්න. සිංහල චිත්‍රපටයකට ඇත්තටම තියෙන්නේ පොඩි ඕඩියන්ස් එකක්. ඉතින් ඕඩියන්ස් එක පොඩි උනාම ඒක බලන ප්‍රමාණයත් වෙන්නේ පොඩි පිරිසක්.

කොහොම වුණත් හැම චිත්‍රපටයකම මුහුණ දෙන ඒ හැම අභියෝගයක්ම වගේ අපිටත් තිබුණා.

“ප්‍රාණ” තිරගත වන දිනය ගැනත් මතක් කරමු

ඔව් , විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වෙනකොට අපි නිකුත් කරලා අවසානයි.

සැප්තැම්බර් මුල් සතියේදී තමයි අපි මේ චිත්‍රපටිය තිරගත කරන්න දැනට සැලසුම් කරලා තියෙන්නේ.


ඉදිරියට එන අලුත් නිර්මාණ

දැනට එහෙම විශේෂ නිර්මාණයක් කරලා නැහැ. ” ප්‍රාණ ” තමයි මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙන්නේ.ඒ වගේම චිත්‍රපටය හා සම්බන්ධ කෘතියක්ද එළිදැක්වීමේ සූදානමක් තියෙනවා

සැකසුම – බිනාලි රාජපක්ෂ

newsmania.lk 

 

මෙන්න බලන්න තවත් පුවත්