මොබයිල් ගේම් ගැසීම මේ තරම් භයානකද? ගේම් එකක් නිසා එක් දරු තරුණයාට අත් වූ ඛේදජනක ඉරණම

අපි හැමදාම ඔයාලගේ ජීවිතයට බොහොම වැදගත් වන ලිපි තමයි අරගෙන එන්නේ.  අද ලිපියත් එහෙම ගොඩක් වැදගත් වෙන ලිපියක්. හැබැයි මේක ටිකක් වෙනස්. අපි නොදැනුවත්වම ඇබ්බැහි වුණු නරක පුරුදු නිසා අපේ ජීවිතයට කොතරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා මේ ලිපිය කියවා අවසන් වෙනකොට ඔයාලට පැහැදිලි වෙයි. බොහොම කණගාටුදායක සිදුවීමක් මෑතකදී ආරංචි වුණා.

ඒ ගැන කතා කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවේ. මම දන්නවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලත් මේ පුරුදු වලට ඇබ්බැහි වෙලා ඇති. නමුත් ඒකෙ තියෙන බරපතළකම තේරෙන්නේ නැතුව ඇති. මගේ යාළුවෝ ගැන බොහොම ගෞරවනීය ආදරයක් තමයි මගේ හිතේ තියෙන්නෙ. ඒ ආදරේ නිසාමයි ඔයාලා වෙනුවෙන් මේ කතාව කියන්න හිතුවේ.

“ෆෝන් එකෙන් ගේම් ක‍්‍රීඩා කළ තරුණ එක්දරු පියා මොළයේ නහරයක් පුපුරා මිය යයි…”

මේ පුවත පසුගිය දිනෙක කොළඹින් අසන්නට ලැබුණා.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය පැවරී තිබුණේ, කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මියටයි. එම පරීක්ෂණයේදි මියගිය අයගේ බිරිඳ මෙසේ පැවසා තිබුණා.

“මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපිට එක් දරුවෙක් සිටිනවා. මගේ සැමියාට මීට පෙර ගැස්ට‍‍රයිටිස් තිබුණා. ඒ හැරුණ විට ඔහුට වෙනත් රෝග තිබුණේ නැහැ. රාත්‍රියේ දි ඔහුට ෆෝන් එකෙන් ගේම් ප්ලේ කරන්න එපා කීවත් ඔහු ඒ දේම කරනවා. එදිනත් රාත‍්‍රියේ ඔහු ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරමින් සිටියා. මා දරුවාත් සමග නිදාගත්තා. අලූයම දෙකට විතර බලන විට ඔහු බාත් රූම් එකේ ඉන්න බවක් දැනුණා. නමුත් නැවත අලූයම 2.30 ට විතර බලන විටත් ඔහු  නිදාගෙන නැති නිසා බාත් රූම් එකේ දොර විවෘත කර බැලූවා. එසේ බලන විට ඔහු සම්පූර්ණයෙන්ම වතුර තිබූ බේසමක වැටී ඉන්නවා දැක්කා. පසුව අපි ඔහුව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා”

විශේෂ ප්‍ර‍රකාශයක් කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙසේ පැවැසුවා.

“මේ මියගොස් සිටින අයගේ මරණය, මොළයේ නහරයක් පුපුරා යෑම නිසා ඇද වැටී මොළයට ලේ ගැලීම නිසා සිදුව ඇති බව වෛද්‍ය වාර්තා වල සඳහන් වෙනවා. මොහු රාත්‍රී කාලයේ අලූයම 2 පමණ වනතුරු එකදිගට ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම පුරුද්දක් ලෙස කර ඇති බව ඔහුගේ  බිරිඳගේ සාක්‍ෂි අනුව අනාවරණය වුණා. මේ තත්ත්වය ශරීරයේ රුධිර පීඩනයකට ඇතැම් විට බලපෑමක් කරන්නට ඇතැයි අධිකරණ වෛද්‍යවරයාගේ කරුණු අනුව අනාවරණය කරගත හැකිවුණා.”

ගේම් ගැසීම අද බොහෝ තරුණයන්ගේ වළක්වා ගත නොහැකි ‘‘නරක පුරුද්දක්’’ බවට පත්ව තිබෙන බව හොඳටම පැහැදිලියි.

ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරමින් සිටි කොළඔ 13 ප‍්‍රදේශයේ පදිංචි මේ තරුණයාගේ මරණය සමාජයට කිසියම් වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. ඒ ප‍්‍රස්තුතය මුල් කරගෙන මේ මරණයත් ඔහුගේ ගේම් ක‍්‍රීඩාවත් අතරේ කිසියම් සබඳතාවයක් තිබේදැයි වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තුසිත් ගුණවර්ධන මහත්මාගෙන් විමසලා තියෙනවා. ඉතින් එහි දී වෛද්‍ය වරයා පැවසුවේ,

“ගේම් ගැසීමත් මේ මරණයත් අතර සෘජූ සම්බන්ධයක් ගැන මට අදහසක් දෙන්නට බෑ. ඒත් මේ චර්යාව ඔහුගේ මරණයට හේතුවක් වන්නට පුළුවන්…

පැය ගණන් ගේම් ගැසීමට ඇබ්බැහිව සිටි බව මේ තරුණයාගේ බිරිඳ කියනවා. එසේ නම් මොහු බොහෝ විට ව්‍යායාම අඩුවෙන් ලැබෙන පුද්ගලයෙක් වෙන්න ඕනි. පැය ගණන් එක දිගට ඉන්නවා කියන්නේ එක දිගට වාඩි වෙලා, නැත්නම් දිගා වෙලා ඉන්න එක. මෙහෙම වුණාම හෘදයාබාධ, අංශභාගය පාදය වැනි ස්ථානයක ඇති වන රුධිර කැටියක් පෙණහළු වල සිරවීමෙන් ඇතිවන Pulmonary embolism තත්ත්වය වැනි අවදානම් සාධක බලගැන්වෙනවා.

තවත් කාරණයක් තියෙනවා. මේ ජංගම දුරකථන ක‍්‍රීඩා නිර්මාණය කරන්නේ බොහොම ආක‍්‍රමණශීලී ආකාරයට. සටන් කරන්න ඕනි…. පන බේරගන්න ඕනි…. සතුරා විනාශ කරන්න ඕනි. ක‍්‍රීඩාවක් වුණත් මේ මනෝභාවයන් ගේම් ක‍්‍රීඩා කරන පුද්ගලයාට ඇති වෙන්නේ බොරුවට නොවෙයි. ඒ රෞද්‍ර හැඟීම් වලින් ඇත්තෙන්ම ඔහුව පෙළනවා.

ඔහු මේකෙන් කිසියම් ත‍්‍රාසජනක අත්දැකීමක් ඇත්තටම විඳින්නෙ. මෙය ආතතිමය තත්ත්වයක්. මේ ආතතියෙ ඔහු පැය ගණන් ඉන්නවා. එය සුදුසු නෑ. ළමයින්ට නම් කොහොමත් සුදුසු නෑ. ස්වභාවයෙන්ම දරුවන් තුළ තිබෙන දායාව, අනුකම්පාව, සහකම්පනය වගේ දේවල් විනාශ වෙනවා. මෙයින් චර්යාත්මකව බරපතල ගැටළු ඇති වෙන්නට පුළුවන්. අනුකම්පාවට ඉස්මතු වෙන්නට මෙයින් ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට එකිනෙකා පරයා යාම, යටපත් කිරීම හා විනාශ කිරීම වගේ හැඟීම් තමයි ඇති වෙන්නෙ. ඒ වග්මයි දරුවන්ට හා වැඩිහිටියන්ට කියන මේ දෙපාර්ශ්වයටම විශාදය වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්.

දරුවන්ට හොඳ නැති දේ වැඩිහිටියන්ට හොඳ නැති වෙන්නෙ තවත් ආකාරයකට. වැඩිහිටියන්ට දරුවන්ට නැති අවදානම් සාධකත් බලගැන්වෙනවනෙ. රුධිර පීඩන අසාමාන්‍යතා, රුධිරයේ අවහිරවීම් අති වෙන්නට වගේම තවත් ඔය හිසරදය, ආතතිමය තත්ත්ව වගේ දේවල් ඇති කරන්නටත් හේතු වෙන්න පුළුවන්. මේ තරුණයා මොළයේ නහරයක් පිපිරීමෙන් මිය ගිය බව පැවසෙනවා. ඔව්… ඇත්තටම එයට ගේම් එකට පාර කපන්න පුළුවන්.

පමණ ඉක්මවා මොබයිල් පෝන් ක‍්‍රීඩා වල නිරත වීම දරුවන්ගෙ අනාගතය විනාශ කරනවා. දරුවන් නොදන්නා කමට කරන දේ වැඩිහිටියන් කරන්න ගියොත් වැඩිහිටියන්ගේ ආයුෂ කෙටි කරන ෂෝට්කට් එකක් වෙන්නත් පුළුවන්..”

වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තුසිත් ගුණවර්ධන මේ සිදුවීම පිළිබද පැවසුවේ මේ ආකාරයටයි.

මේ ඉන්නේ මයිකල් (Michael Tumagan) මොහුත් mobile game නිසා මියගිය කෙනෙක්. ඔහු කොතරම් mobile game වලට ඇබ්බැහි වුණා ද කියනවා නම් ඔහු කන්නේවත් නිදාගන්නේවත් නැතුව එක දිගටම ගේම් ප්ලේ කරල තියෙනවා. මේ හේතුව නිසා ඔහු බොහොම රෝගාතුර වෙලා, බලන්න බැරි තරම් විරූපි වෙලා තමයි මරණයට පත්වුණේ. ඔහුගේ අවසාන වචනය කීපයේ දී ඔහු සඳහන් කරලා තියෙන්නෙත් නැවත අවස්ථාවක් පැමිණියොත් ඔහු ගත කරපු ජීවිතය වෙනස් කරගන්න බවට.

ඔබේ ජීවිතයටත් මේ පැමිණිල්ල තියෙන්නෙ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. නිවැරදි තීරණය ගන්න එක ඔබ සතුයි.

පෙන්වන නේද යාලුවනේ අපි නොදැනුවත්ව කරන දේවල් නිසා අපිට ආදරේ කරන අය කොතරම් අසරණ වෙනවද කියලා. ආදරණීය බිරිඳ හරි දෙමව්පියන් හරි අපිට යමක් කියන්නේ අපිට තියෙන ආදරේ නිසා. එයාලට ඇහුම්කන්දීම ගොඩක් වැදගත්. ඔයාලා ඔයාලගේ ජීවිතේට ආදරේ කරන්න. එක මොහොතක තියෙන පුංචි සතුටක් පුංචි වින්දනයක් නිසා තමන්ගේ මුළු ජීවිතේම විතරක් නෙමෙයි තමන්ට ආදරේ කරන අයගේ ජීවිතය අනතුරේ හෙලන්න එපා.

චීනය වගේ බොහොම දියුණු රටවල් මේ මොබයිල් ගේම් බොහෝ දුරට තහනම් කරලයි තියෙන්නේ. ඒ රටවල් දිනෙන් දින දියුණු වෙන්නේ මේ බුද්ධිමත් තීරණ නිසා. පාසල් දරුවන්ට මේ ත්‍රාසජනක ගේම් වලට ඇතුළත්වීමට නොහැකි විදිහටයි එම මෘදුකාංග හදලා තියෙන්නේ.

නමුත් අපේ රටේ නම් එවැනි දෙයක් ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ ඔයාගේ ආදරණීය දරුවා ආදරයෙන් බලාගන්න. ඔවුන් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ අපේ රටේ අනාගත. මේ අනාගතය රැක ගැනීම අපේ වගකීමක්. දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් තමන්ගේ දරුවන් ගැන හිතලා හරි මේ නරක පුරුදුව වලින් ඈත් වෙන්න. ජීවිතය පිළිබඳව මීට වඩා ගැඹුරින් හිතන්න.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්