මේ දවස්වල ගස් යට කුණුවෙන කොස් ඇට කල්තබා ගන්න ලේසිම ක්‍රමය

මේ රටේ තත්ත්වය එන්න එන්නම නරක අතටයි යන්නේ යාලුවනේ. මම හැමදාම කියනවා වගේ ඉදිරියට මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බැහැ. ආර්ථික අර්බුදය දැනටමත් ඇවිල්ල තියෙනවා. ආහාර අර්බුදයත් ඉක්මනින්ම එයි. හැබැයි ඒ ප්‍රශ්නෙට අපිට කල් තියා සූදානම් වුණොත් ‍යම්තාක් දුරට ප්‍රශ්නය පාලනය කරන්න පුලළුවන් වෙයි. ආහාර කල්තබා ගැනීම මේ ප්‍රශ්නෙට එක විසඳුමක් වෙනවා. නමුත් හැම ආහාරයක්ම කල් තබා ගන්නා ආකාරයට සකසා ගන්න අමාරුයි. ඉතින් අද කතා කරන්න හදන්නේ මේ දවස්වල නිතර අපතේ යවන වටිනාකම දැනෙන්නේ නැති ආහාරයක් කල්තබා ගන්නේ කොහොමද කියලා.

මේ දවස්වල අවට කොස් ගස් වලත් කොස් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉතින් වැඩි කාලයක් ඔහොම තියෙන්නෙත් නැහැ. දැන් කොස් පැහිල ඉදිල වැටිලා යන කාලය දක්වා ඇවිත් තියෙනවා. ඒත් මිනිස්සුන්ට තවමත් ඒවගේ වටිනාකම නම් දැනිලා නැහැ. කොස් ඇට නිකම්ම පස් යට හැංගිලා යනවා. අපේ අතීතයේ දී නම් ආච්චිලා මේ කොස් ඇට කල්තබා තබාගන්න විදිහට හදා ගන්නවා. ඒ නිසා කොස් අවාරෙට වුණත් කොස් ඇට නම් ගෙදරක නැති වෙන්නේ නැහැ. අපි බලමු සරල පහසු විදියක් අපිටත් කොස් ඇට කල් තබා ගන්න පුළුවන්.

කොස් ගස් යට තවමත් කොස් ඇට වැටී කුණු වී යනවා නේද? යන්න නැවතත් වත්තේ කොස් ගස් පැත්තේ. බලන්න ගස් දිහා. පැසුණු කොස් ගෙඩි ඇත්නම් කඩා ගන්න. පැසුණු කොස් ගෙඩි අඳුන ගන්න දන්නවාද? මෙහෙමයි අදුනගන්නෙ. කොස් ගෙඩියක නැට්ට ආසන්නයේ ඇති කොස් කොළය කහ පැහැති නම් කොස් ගෙඩිය හොඳට පැහිලා තියෙන්නේ.

මේ වෙද්දි ගස් වලම ඉදි ගියපු ගෙඩි කුණු වෙලා ගස යට වැටිලා තියේනම් කම්මැලි නොවී කොන්ද ටිකක් නමා ගෙන එකතු කරගන්න. කම්මැලි වෙලා නම් ඉතින් ඉදිරියට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිවෙයි. මේ කොස් ඇට ඇහිදගත්තට පස්සේ අපිට වැලි කොස් ඇට දාන්න පුළුවන්.

එහෙම නැත්නම් මේ කියන්න යන විදියට වේලා ගන්න පුළුවන්. මේ ක්‍රමයට නම් අපේ යාළුවෝ කැමති වෙයි.

  • සාදන ක්‍රමය

ඇති තරමට වතුර හට්ටියක් ලිප තබා නටන තෙක් උනු කරගන්න. ලුණු මේස හැඳි දෙකක් පමණ වතුරට එකතු කරන්න. ඉන්පසු සෝදා පිරිසිදු කරගත් කොස් ඇට ටික එකතු කර හොඳින් තම්බා ගන්න. හොඳින් තම්බා ගත් විට කොස් ඇට වල පොත්ත පිපිරී ඇති බව පෙනේවි. දැන් කොස් ඇට දෙකට පලා අව්වේ දමා හොඳින් වෙලා ගන්න. හොඳින් වේළුනු කොස් ඇට කඩා බලන්න. පහසුවෙන් කැඩී යාවි.

අවශ්‍ය විටෙක පිටි කර ගත හැකි අතර  වතුරේ දමා පෙඟුණ පසු සාමාන්‍ය කොස් ඇට ආහාරයට ගන්නා ආකාරයට ම පිස ගන්න පුළුවන්.

බලන්නකෝ මේ ක්‍රමය ලේසියි නේද? නිකම් කියවලා ඉන්න එපා. මේවා කරලා බලන්න.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්