මෙතෙක් කල් ඔබ උණ මැන්නේ හරිම විදිහටද? අද සිට උණ රෝගය හරියටම මනිමු

අපි හැමදාම ඔයාලට ගෙනාවේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන කතාවක්. සෞඛ්‍ය පැත්තෙන් හරි මානසික පැත්තෙන් හරි අපි කියන ගොඩක් දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙනවා කියලා විශ්වාසයි. ඉතිං අදත් ඒ වගේ වැදගත් කියන කතාවක් අරගෙන තමයි ආවේ. මේ ගැන ගොඩක් අය දන්නවා ඇති. නමුත් හරියටම දැනගෙන ඉන්නත් නැතුව ඇති.  ඒ නිසයි අද අපි උණ රෝගය ගැන කතා කරන්න හිතුවේ. හරියටම රෝගය හදුනා ගන්නේ කොහොමද, උණ තත්ත්වය බලන්නේ කොහොමද? උෂ්ණත්වය මනින්නෙ කොහොමදද? මෙන්න මේ වගේ දේවල් ඔයාලට කියන්න හිතුවේ.

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් තමයි උණ කියන්නේ. උණ ගැන හැමෝම දැන උන්නත් ඒ ගැන නොදන්නා කාරණාත් බොහෝ තියෙනවා. කොටින්ම හරියට උණ මැන ගන්නටත් අපේ බොහෝ දෙනා දන්නේද නැහැ.

වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම නම් කෙනෙකුගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37 නැතිනම් ෆැරන්හයිට් අංශක 98.6 දක්වා පවතින බව‍යි. ශරීරයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 37ට හෝ ෆැරන්හයිට් අංශක 100 වැඩි වූ විට උණ සෑදී ඇතැයි කියනවා. හරියටම කිවහොත් උණ සෑදී ඇතැයි සලකන්නෙ සෙන්ටිග්‍රේඩ් 38 හෝ ෆැරන්හයිට් 100.4 ට වැඩි  වූ විටයි. ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව ශරීරයේ උෂ්ණත්වයේ සුළු වෙනසක් සිදුවීමට පුළුවන. ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු නිසා උදේ පාන්දරම ශරීරයේ උෂ්ණත්වය අඩුය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වනවිට ශරීරයේ උෂ්ණත්වයද වැඩිය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වනවිට ශරීරයේ විවිධ කොටස්වල වුවද උෂ්ණත්වය සුළු වශයෙන් වෙනස් වන්නට පුළුවන්.

උණ සම්බන්ධ වැදගත් තවත් කාරණාවක් තියෙනවා. එනම්, උණ වැඩිවන තරමට රෝගයත් භයානකය යන වැරදි වැටහීම. සමහර විට සෙම් ගෙඩි ආසාදනය වූවෙකුගේ උණ ෆැරන්හයිට් අංශක 105ට නැඟ තිබෙන විට ඊට වඩා භයානක රෝගයක් වන ලියුකේමියාවෙන් පෙළෙන දරුවකුගේ උණ එතරම් වැඩි වී නොතිබෙන්නට පුළුවන්. සමාජයේ තියෙන මේ වැරදි වැටහීම් අපිව ලොකු අමාරුවක දාන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින්.

ෆැරන්හයිට් 101ට සටහන් වී ඇති දරුවන්ගේ නියුමෝනියාව, මොළයේ උණ අංශක 104 ලෙසට සටහන් වූ දරුවාට වඩා අසාධ්‍ය වෙන්නත් පුළුවන්. එබැවින් රෝගයේ බැරෑරුම්කම විනිශ්චය කිරීමට උණ හැරෙන්නට අනෙක් රෝග ලක්ෂණද පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. අපේ ගෙවල් වල ඉතින් ලෙඩ්ඩුන්ට වඩා දොස්තරලානේ ඉන්නෙ නේද. අත්තම්මාගෙන් එක බෙහෙතක්, අම්මගෙන් එක බෙහෙතක් වරදින්නේම නෑනේ. නමුත් ලෙඩ රෝග පිළිබඳ ඊට වඩා සැළකිලිමත් වෙන්න ඕන.

හරියට උණ බලන්නේ මෙහෙමයි

කෙනෙකුගේ නළලට අත, පිට අත්ල තැබූවිට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වී ඇත්නම් එය දැනගන්නට පුළුවන්. ඒක තමා සාමාන්‍ය ක්‍රමය. එහෙත් ශරීරයේ උෂ්ණත්වය මැන ගැනීමේ නිවැරුදි ක්‍රමය උණ කටුවක් හෙවත් උෂ්ණත්වමානයක් භාවිතා කිරීම.

  • උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් වර්ග තුනකින් තියෙනවා.

  1. රසදිය උෂ්ණත්වමානය
  2. අංක වැටෙන ඉලෙක්ට්‍රොනික් උෂ්ණත්වමානය
  3. උෂ්ණත්වය අනුව පාට වෙනස් වන නළලේ අලවන පටියක් බඳු උෂ්ණත්වමානය

රසදිය උෂ්ණත්වමානය

අප රටේ වැඩිපුර භාවිතා කරන ඒ වගේම ඉතාමත් නිවැරැදිව උෂ්ණත්වය සටහන් කරගත හැකි උෂ්ණතත්වමානය නම් රසදිය උෂ්ණත්වමානයයි. අවුරුදු  එකහමාරට අඩු දරුවන්ගේ උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමානය ගුද මාර්ගයට ඇතුළත් කරන්න පුළුවන්.  දරුවාගේ වයස අවුරුදු  එකහාමාරේ සිට අවුරුදු 6 දක්වා උෂ්ණත්වමානය කිහිල්ලේ තබා උෂ්ණත්වය සටහන් කරන්න පුළුවන්. දරුවාට දැනුම් තේරැම් ඇති නම් උෂ්ණත්වමානය දිව යට තබා උෂ්ණත්වය මනින්න පුළුවන්.

උෂ්ණත්වමානය නිවැරුදිව භාවිතා කරන්නේ මෙහෙමයි

  • උණ බැලීමට ප්‍රථම එහි ඉහළ කෙළවරින් අල්ලා රසදිය කඳ සෙන්ට්‍රිග්‍රේඩ් 35: ෆැරන්හයිට් 95 ලකුණට පහළට යන තුරු පහළට ගසන්න.
  • කුඩා දරුවකුගේ නම් ගුද මාර්ගයට උණ කටුව ඇතුල් කිරීමට පෙර තෙල් ටිකක් හෝ බේබි ක්‍රීම් ටිකක් රසදිය බල්බයේ ගල්වන්න. උෂ්ණත්වමානය ගුදය තුළට අඟලක් පමණ ඇතුළු කර විනාඩි 2 ක් පමණ තැබීමෙන් පසු උෂ්ණත්වය කියවන්න පුළුවන්.
  • මුඛයෙන් උෂ්ණත්වය මනිනවා නම් කට ඇර උණකටුව දිව යට තබා තොල්පට (දත් නොවේයි) තදකර පියවන්නට උපදෙස් දෙන්න. උණකටුව මුඛයේ බහා විනාඩි දෙකකට පසු උෂ්ණත්වය සටහන් කරන්න පුළුවන්.
  • උණකටුව කිහිල්ලේ තබා ද උෂ්ණත්වය මැනගන්න පුළුවන්. කිහිල්ල විවෘත වන පරිදි අත ඔසවා උණකටුවේ රසදිය බල්බය කිහිල්ලේ තබා විනාඩි දෙකකට පසු උණ වැඩි වී ඇත්දැයි බලන්න.

උණ බැලීම හා සම්බන්ධ වැදගත් කරුණු ටිකක්

  • කිහිල්ලේ උෂ්ණත්වය ශරීරයේ උෂ්ණත්වයට වඩා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක දශම 6ක් හෝ ෆැරන්හයිට් අංශක 1ක් පමණ අඩු බව මතක තබාගන්න. ඔන්න ඒක අමතර කරුණක්.
  • දුව පැන සෙල්ලම් කර අවසාන වූ වහාම උෂ්ණත්වය මනින්න යන්න එපා. ඒක වැරදියි. දරුවාගේ කටේ උණකටුව තබා එහෙ මෙහෙ යන්නත් එපා.
  • උණ බැලීමෙන් පසුව උණකටුව සබන් යොදා ඇල්වතුරෙන් සෝදා එහි කොපුවේ බහාලන්න. උණකටුව උණු වතුරේ දමන්න එපා. රසදිය කඳ ප්‍රසාරණය වී එය පුපුරා යන්න පුළුවන්.

උණ රෝගය ගැන මතකයට ගත යුතු තවත් වැදගත් කරුණු

උණ කියන්නේ රෝගයක් නොවේයි. ශරීරයට වැළඳී ඇති රෝගයක් නිසා ඇති වූ රෝග ලක්ෂණයක් පමණි. ශරීරයට ඇතුළු වූ රෝග කාරක විෂබීජයක් සමඟ ශරීරයේ ආරක්ෂක හමුදාවන් සටන් වදිනවිට ඇතිවන ප්‍රතිඵලයක් තමයි උණ කියන්නේ. එක අතකින් බලනවිට ඉහළ ගිය උෂ්ණත්වය ශරීරයට හිතකර ප්‍රතිඵලයක්. අනෙක් පැත්තෙන් ඔබට හෝ ඔබේ දරවාට රෝගය වැළඳී ඇති බවට කල්තියා කරන අනතුරැ ඇඟවීමක් ලෙසද එය සැලකන්න පුළුවන්. රෝගයට කරන ප්‍රතිකාරයත් සමඟ උණ අඩුවන්නේ නැතිනම් එයින් කියන්නේ දෙන ඖෂධ (බොහෝ විට ප්‍රතිජීවක) රෝගකාරක විෂබීජය විනාශ කිරීමට සමත් නොවන බවයි. දවසේදී උණ වෙනස් වන රටාවද රෝගය (මැලේරියාව, උණසන්නිපාතය, ඩෙංගු ආදී වශයෙන්) නිසිපරිදි  තේරැම් ගැනීමට උදව් වෙනවා. මේ නිසා උණ අපේ ජීවිත අනතුරුවලින් බේරාදෙන්නට කලින් එන පණිවුඩකාරයෙක්.

අපේ සෑම නිවසකම වෛද්‍යවරයෙක් නැහැනේ. නමුත් වෛද්‍යවරයෙක් නොමැති වුවත් නිවැරදි ආකාරයෙන් රෝගය හඳුනා ගැනීමට පුංචි හරි අවබෝධයක් අපට තියෙන්න ඕන. මොකද ලෙඩ රෝග කියන්නේ කල්තියා දැනුම් දීමක් කර හැදෙන දෙයක් නෙමෙයි. මම එක ඔයාලට හැමදාම කියනවා. කොහොම වුණත් අවදානමට පෙර සූදානම හොඳ නිසා අපි යම් අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ.

පුංචි දරුවන් ඉන්න අම්මලාට විතරක් නෙමෙයි අපි හැම හැමෝටම මේ කාරණා වැදගත් වෙනවා. මොකද උණ කියන්නේ නිරන්තරයෙන්ම අපට වැළදෙන රෝගයක්. ඒ ගැන නිවැරදි අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්