බෙහෙත් කූඩැල්ලන් ( පුහඬාවන් ) මඟින් රක්ත මෝක්ෂණ ප්රතිකාරය සිදු කරන ආකාරය ගැන දැනගන්න කැමති ද?

අපි කැමති අලුත් අලුත් තොරතුරු වගේම අපෙන් ඈත් වෙලා යන වටිනා කියන තොරතුරුත් ඔබ සමඟ බෙදා ගන්න. ඉතින් අදත් ඒ වගේම ටිකක් වෙනස් කතාවක් තමයි ඔබට කියන්න යන්නේ. මේ කතාව ටික දෙනෙක් දන්නවා ඇති. නමුත් මට විශ්වාසයි මේ ගැන නොදන්න බොහෝ දෙනෙක් ඇති. කූඩැල්ලන් කියන්නේ බොහෝ අය අප්‍රිය කරන සත්වයෙක්. නමුත් කූඩැල්ලන්ගෙන් වෙද කමට බොහොම උපකාරි සත්වයෙක්. අපි අද කතා කරන්න යන්නෙ මේ ගැන.
විවිධ ප්‍රතිකාර ක්‍රම කොතෙකුත් බිහි වුවත් අතීතයේ පටන් ම පැවත ආ රක්තමෝක්ෂණ ප්‍රතිකාරවලදී කූඩැල්ලන් යොදා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රමය වර්තමානයේ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බහුලව දැක ගන්න පුළුවන්. නමුත් මේ බව මිනිසුන් ඒ තරම් දන්නේ නෑ. පැරණි ලක්‌දිව පැවති වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක විධික්‍රම පිළිබඳව විස්‌තර සපයන මෙරට සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක අනුව ඉතා විශිෂ්ට අන්දමේ වෛද්‍ය ශිල්ප ක්‍රමයක් පැවති බව අපට කියන පුළුවන්.  මිහින්තලා පුවරු ලිපියේ කූඩැල්ලන් යොදා ප්‍රතිකාර කළ වෛද්‍යවරු පිළිබද සදහන් වෙනවා. ඉතින් පැහැදියි නේද මේ ක්‍රමය අතීතයේදී බොහොම සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස භාවිත වෙලා තියෙනවා.
එම ලිපියෙ සේවකයන්ට ලබා දෙන වැටුප් පිළිබඳව තොරතුරු , පුහුඬා වෙද හෙවත් කූඩැල්ලන් යොදා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනා පිළිබඳව තොරතුරු සඳහන්  වෙනවා. එහි,
” වෙදක්‌ හට දෙති සෑ සෙණෙන් නිය පැළියක්‌ ඉසා දමියෙන් වසගක්‌ ඉසා පුහුඬා වෙදක්‌ හට දෙපයක්‌ ඉසා දමියෙන් වසගක්‌ ඉසා මඬොවූවක්‌ හට එක්‌ කිරි දෙපයක්‌ ඉසා දමියෙන් වසගක්‌ ඉසා “
යන පාඨයට අනුව මිහිත්තලා විහාරයෙහි සේවයේ නිරත ව සිටි වෛද්‍යවරයෙකුට හේනකින් නියපැළියාක්‌ හා වසඟක්‌ ද කූඩැල්ලන් යොදාගෙන ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකට ඉඩම් පය දෙකක්‌ හා වසඟක්‌ද ආදී වශයෙන් පුහුඬා වෙද හට ලබා දුන් වැටුප් ප්‍රමාණය පිළිබඳ තොරතුරු දක්‌වා ඇත.
“පුහුඬා වෙදා” යනු කූඩැල්ලන් යොදාගෙන ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන බවත්, ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අපිරිසිදු රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් යොදා ගන්නා බවත් පරණවිතාන මහතා පෙන්වා දෙනවා. පූඩැලූ, පුහුඬා යනාදි නාමයන් කූඩැල්ලා සඳහා යෙදෙන බව සුමංගල ශබ්ද කෝෂයේ දැක්‌වෙනවා. වර්තමානයෙහි වුවද ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙම පුහුඬා වෙද ක්‍රමය සිදු කරනවා.

රක්‌තමෝක්‌ෂණය

කූඩැල්ලන් යොදා ගනිමින් සිදු කරන මෙම වෙද ක්‍රමය දුෂිත රක්‌තමෝක්‌ෂණය, රක්‌තස්රාවණය හෙවත් ලේ හැරීම සඳහා යොදා ගන්නවා.
ආයුර්වේදයේ පංචකර්ම යටතේ එන රක්තමෝක්ෂණ ක්‍රියාවලිය ආයුර්වේදයට අනුව ප්‍රක්ෂාණකර්ම හා ශිරාවේදනය මඟින් සිදු කෙරේ. කෙසේ වෙතත් මින් බැහැරව රක්තමෝක්ෂණය සිදු කරනුයේ කැපෙන ආයුධවලින් තොරව අනුශස්ත්‍ර භාවිතාවෙනි. එනම් ශෘංඝ, ජලෞකා, අලාබු, ඝටීයන්ත්‍ර මඟිනි. මේවා මඟින් සිදු කෙරෙන රක්තමෝක්ෂය විවිධ ආකාරයෙන් ලෙඩ රෝග ශරීරයෙන් දුරු කර ගැනීමට උදව් වෙනවා.
  • වාතයෙන් දූෂිත වූ රුධිරය ඉවත් කරනුයේ ශෘංඝ මඟින් ද,
  • සෙම නිසා දූෂිත වූ රුධිරය ඉවත් කිරීමට අලාබු යන්ත්‍ර මඟින් හා
  • පිත හෝ රක්තයෙන් දූෂිත රුධිරය ඉවත් කිරීමට ජලෞකා ක්රමය මඟින් භාවිතා කරයි.

සිරුරේ අපිරිසුදු වූ රුධිරය ඉවත් කිරීමෙහිලා පහසුම ක්රියාවලිය වනුයේ ජලෞකා ක්‍රමවේදය හෙවත් මෙම කූඩැල්ලන් කැවීමයි. පිත හෝ රක්තජයෙන් දූෂිත රුධිරය සජීවි ව බැහැර කිරීම, ඉක්මන් ක්‍රියාකාරීත්වය හා පහසුවෙන් සුවය ලැබීම වැනි වාසිදායක තත්ත්ව මෙම ජලෞකා ක්‍රමය මඟින් ලැබේ. ජලෞකා ක්‍රමය සඳහා භාවිතා කරනුයේ විශේෂිත කූඩැල්ලන් වර්ගයක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම කූඩැල්ලන් ජලජවාසීන් වන අතර ඔවුන්ගෙන් වැඩි ප්රමාණයක්‌ ගොඩබිමේ තෙත් පරිසරයේ වෙසෙයි. මොවුන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා පුහුඬාවන් (කූඩැල්ලන්) “දිය පුහුඬාවන්” ලෙස සුශ්රැත සංහිතාවේ සඳහන් වෙනවා. පුහුඬාවන් විෂ සහිත හා විෂ රහිත වශයෙන් දෙකොට්‌ඨාශයකට අයත් වෙනවා.
ප්‍රතිකාර සඳහා යොදා ගන්නා කූඩැල්ලන්:-
ආයුර්වේද වර්ගීකරණයට අනුව කූඩැල්ලන් හෙවත් පුහුඬාවන් වර්ග 12 කි. ඉන් 6 ක් විෂ සහිත වන අතර 6 ක් විෂ රහිත වෙනවා. විෂ සහිත කූඩැල්ලන් වෛද්‍ය ක්‍රම වලට යොදා නොගනී. ඔවුන්ගේ විෂ රෝගියාට වෙනත් රෝගාබාධාදිය වැළදීමට ඇති ඉඩකඩ බහුලවීමට ඊට හේතුවයි.
මොවුන් මිනිසුන්ගේ ප්‍රතිකාර සඳහා යොදා නොගත යුතු බවත්, ඇත්, අශ්, ගව, මහීෂාදීන්ට ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනීමට යෝග්‍ය වන බව යෝගාර්ණවයේ දක්‌වා ඇත. මෙහිදී මිනිසුන්ගේ ප්‍රතිකාර සඳහා අප භාවිතා කරනුයේ නිර්විෂ කූඩැල්ලන්. මොවුන් ජීවත් වනුයේ පිරිසුදු ජලයේය. හිරුඩො මෙඩිසිනාලිස්ට් නමින් මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ඛේටයේ ප්රෝටීන වර්ග 60 ක් පමණ ඇත. සිරුරේ බර මෙන් දස ගුණයක බරක් උසුලා යා හැකියි. මොවුන්ගේ ජීවත්වීමට වසරකට දෙවරක් ආහාර ගැනීම ප්‍රමාණවත් වෙනවා.

සුශ්රැත සංහිතාවට අනුව විෂ සහිත පුහුඬාවන් වන්නේ.

01. කෘෂ්ණා – අඳුන් සුනුසේ කළු වන්ය.
02. කර්පුරා –  ආඳ මත්සයකු සේ තැනින් තැන කැඩුණ උස්‌ වූ බඩ ඇත.
03. අලගර්දා – ලොම් වලින් ගැවසුණි. මහත් ඇළපත් දෙකක්‌ ඇත. තුඩ කළුවන්ය.
04. ඉල්ද්රයුධා – ඩැහැගත් කල්හි සුව නොකට හැක්‌කේය. දේදුන්නක්‌ මෙන් වර්ණවත්ය. පිටෙහි විසිතුරු මලක්‌ මෙන් ඉරි වැටී ඇත.
05. සාමුද්රිකා – මදක්‌ කළු රන්වන් පැහැ ඇත. වර්ණවත් මලක්‌ මෙන් ඉරි වැටී ඇත.
06. ගෝචන්දන – යටි බඩ දෙකට බෙදී ඇත. කුඩා තුඩක්‌ දක්‌නට ලැබේ.

විෂ රහිත පුහුඬාවන් වශයෙන්…

01. කපිලා – පිට සිනිඳු වන්ය. මුං පෑය ඇත්තීය.
02. පිංගලා – මදක්‌ රතු වට වූ කඳ ඇත්තීය. වහා ගමන් ඇත්තීය.
03. සංකුමු – අක්‌මා බඳු පැහැ ඇත්තී, දික්‌ වූ තියුණු මුව ඇත්තීය.
04. මුෂිකා – මුං පැහැ ඇත්තී, රන් පියුමක්‌ බඳු මුව තුඩ ඇතිය.
05. පුංඩරිතමු – රන් පියුමක්‌ බඳු පැහැ ඇත්ති, මුං වර්ණවේ. මුඛය රත් පියුම් කැකුළක්‌ මෙනි.
06. සාවරිකා – සිනිඳුය. පියුම් පැහැ ඇත්තීය. ඇත්, අශ්, ගව ආදීන්ගේ පිළියම් පිණිස වේ.

කූඩැල්ලන් චිකිත්සාවට යෝග්ය රෝගීන්

ප්‍රධන වශයෙන් රක්තජ හා පිත් දෝෂ ප්රධාන කොටගත් රෝගාබාධවලට රක්තමෝක්ෂණය ප්‍රතිකාර යෙදීම වඩාත් සුදුසුයි. බොහෝ රෝග ගණනාවකට මෙම චිකිත්සාව යෝග්‍ය වෙයි.
• නහර ගැට ගැසීම වැනි තත්ත්ව වලදී
• ඉදිමුම හා ලේ එකතු වී ඇති තත්ත්ව වලදී
• සුව නොවන තුවාල වලට ප්‍රතිකාරයක් ලෙස (නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල හා සර්ප දෂ්ට වැනි තත්ත්ව වලදී ඇතිවන තුවාල)
• සන්ධි වේදනා වලදී (ඔස්ටියෝ ආතරයිටීස්)
• රුධිර සැපයුම අඩුවෙන් ඇතිවන තත්ත්ව වලදී
• සමහර පටක මිය යාම වැනි තත්ත්ව වලදී
• මාංශ පේශීන්වල සිදුවන වේදනාවන් වලදී
• කාපල් ටනල් සින්ඩ්රෝම් වලදී
• සයිටිකා රෝගයේදී
• සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් රෝගයේදී
• ඇස් පිහාටු ඉදිමුම වලදී
• ඇසේ ප්රෙෂර්වලදී
• සමහර අර්ශස් රෝග වලදී
• හිසේ ඇතිවන කුෂ්ට වලදී
• සමේ ඇතිවන කුෂ්ට වලදී (උදා. සොරයිසිස්, එක්සිමා)
• සමහර සර්පයන්ගෙන් හා කෘමින්ගෙන් ඇතිවන විෂ වලදී

 රක්තමෝක්ෂණය නොකළ යුතු අවස්ථා

මුළු සිරුරම ඉදිමී ඇති නම් මෙය භාවිතා නොකර සිටීම වඩා වැදගත්ය.
පාණ්ඩු (රක්තහීන තත්ත්ව නිසා ඇති වූ ඉදිමුම), ගර්භණීභාවය නිසා ඇති වූ කකුල්වල ඉදිමුම් සහ හිමෝෆීලියා වැනි රෝග තත්ත්ව වලදී භාවිතා නොකෙරේ.
ලියුකේමියා රෝග තත්ත්වයේදී ද කූඩැල්ලන් ප්‍රතිකාරය නොකරයි.

කූඩැල්ලන් ප්රතිකාරය සිදු කරන ආකාරය

මේ සඳහා භාවිතා කරනුයේ විෂ රහිත කූඩැල්ලන් විශේෂයි. මුලින්ම මොවුන්ව විශේෂ වූ බෙහත් ද්රාවණයක ගිල්වා තබන්නේ බඩගිනි ඇතිවීම හා මොවුන්ගේ සිරුරේ ඇති විෂ ඉවත් කිරීමටයි. එසේම සිරුරේ පවතින විෂ කොටස් වමනයට සැලැස්වීම ද මින් සිදු වේ. ඉන් පසුව සිදුවන්නේ කූඩැල්ලාව වෙනත් පිරිසිදු වතුර භාජනයකට දැමීමයි. දැන් කූඩැල්ලා රෝගියාගේ රෝගී ස්ථානය කරා යොමු කිරිමට සුදුසුම තත්ත්වයක පසු වෙනවා.
දැන් කූඩැල්ලා ගෙන රෝගය ඇති ස්‌ථානයෙහි තැබිය යුතු යි. කූඩැල්ලා එම ස්‌ථානය සපා නොකයි නම් තන කිරි හෝ ලේ බිංදු එතැන ගෑමෙන් සපා කෑමට කූඩැල්ලා නැඹුරු කළ යුතු යි. නැතහොත් කිසියම් සැතකින් එතැන තුවාල කර දිය යුතු යි. ඌ ලේ උරා බොන අතරතුර තෙත පුලුන් කැබැල්ලකින් ඌ වෙලිය යුතුයි.
එවිට එහි පවතින දූෂිත රුධිරය කූඩැල්ලා මඟින් උරා බීම සිදු කරයි. පසුව කූඩැල්ලා පැය 1/2ක් හෝ පැයක් ඇතුළත දී රුධිරය බීම නවතා දමයි. ඒ පැය ඇතළත දී කූඩැල්ලාව ඉවත් කරගත යුතුයි. රෝගියාගෙන් කූඩැල්ලා ඉවත් කර ගැනීම සඳහා ලූණු හෝ කහ මුඛයේ ගෑ යුතු ය. නැතහොත් තල තෙල් ගැල්විය යුතු ය. ඉන්පසු උරා බිව් රුධිරය ඌ ලවා වමනය කර වීමට සැලැස්විය යුතුයි. මේ සඳහා ඖෂධීය ද්‍රාවණයක් යොදා ගනී. එසේ වමනය නොකර සිටියහොත් කූඩැල්ලා ජීවිත හානියට පවා පත්විය හැකියි.
පසුව කූඩැල්ලාව පිරිසුදු වතුරකට දමා උගේ නිරෝගිභාවය පරීක්ෂා කළ යුතුයි. එහිදී නියමිත පරිදි පිහිනා යාම සිදු කරයි නම් එය සුදුසු තත්ත්වයයි. එසේ නොවුයේ නම් උරා බිව් අපිරිසුදු රුධිරය ඌ තුළ තවමත් ඇති බව නිගමනය කළ හැකියි.
එක් රෝගියෙකුට කූඩැල්ලන් එකවර 6 දෙනෙක් පමණ දැමිය හැකියි. ඔවුන් ද පෙර කී විශේෂිත නිර්විෂ කූඩැල්ලන් ම විය යුතුයි.
අවසානයේ දී කූඩැල්ලන් කැවූ ස්‌ථානය ඇල් දියෙන් සෝදා වෙනිවැල් ගැට, කහ, එළඟි තෙලෙන් අඹරා තුවාලය වැසිය යුතු යි.
වැඩිපුර ලේ යාමෙන් ලේ හීන වූ විට එළු කිරිවලින් පිසින ලද කිරිබත්, එළු මස්‌ ආදිය සාදා දිය යුතු යි. රක්‌තය පිට වීම නිසා වාතය කෝප වූ අවස්‌ථාවක ගිතෙල් මඳක්‌ උණුසුම් කොට ශරීරයට ඉසිය යුතු යි.
චරක සංහිතාවේ මෙන්ම යෝගාර්ණවයේ  යන ගන්ත්‍ර වල ද දක්‌වන පරිදි යම් වෛද්‍යවරයෙකු පුහුඬාවන්ගේ කුල, ඔවුන් අල්ලා ගන්නා අයුරු, ප්‍රතිකාර විධිය, දන්නේ නම් රජවරුන්ට ප්‍රතිකාර කිරීමට යෝග්‍ය රාජකීය වෛද්‍යයවරයෙකු බව දැක්‌වේ.
මේ ලිපියෙන් නොදන්න බොහෝ කරුණු දැන ගන්නට ඇතැයි කියා මම විශ්වාස කරනවා. මේ වගේම අලුත් පුවතිකින් නැවත හමුවෙමු.
මෙන්න බලන්න තවත් පුවත්