ගෙදර මුළුතැන්ගෙයි, ගෙවත්තෙ තියෙන මේ සුලබ දේවල් වල පුදුම හිතෙන විද්‍යාත්මක ගුණයන්

බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න, ගෙදරදී මේ ආහාර වලට හුරුවෙන්න

ලෙඩ රෝග වලින් තොර නිරෝගී ජීවිතයක් ගතක් කිරීම තරම් වෙනත් වටිනා දෙයක් මුලු ලෝකයේම නැතිතරම්. තමන් මෙන්ම තම ආදරණීයයන්ද  නිරෝගී දිවිපෙවෙතක් ගත කරනවා දකින්න අපි හැමෝම කැමතියි. ප්‍රතිශක්තිකරණය කියන්නෙ අපේ ශරීරයට ලෙඩ රෝගවලට ඔරොත්තු දීමට තියෙන හැකියාවට. එය එකිනෙකාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලත්වය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න තියෙන විවිධ ක්‍රම අතරින් පහසුම ක්‍රමයක් විදිහට අපි ලබාගන්නා ආහාර හඳුන්වන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ එදිනෙදා ගන්නා කෑම වලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව.

  • පැඟිරි කුලයේ පළතුරු

පැගිරි කුලයේ පළතුරු කියන්නෙ අපිට පහසුවෙන්ම හොයගන්න පුළුවන් ප්‍රතිශක්ති වර්ධන ආහාර කොට්ඨාශයක්. මේ පළතුරුවල අඩංගු ප්‍රධාන සංඝටකයක් තමයි  විටමින් C. ප්‍රතිශක්ති  වර්ධනය කරන සංඝටක අතර ප්‍රධාන තැනක් විටමින් C වලට හිමිවෙනවා. රුධිරයේ සුදු රුධිරාණු නිෂ්පාදනය ඉහළ නංවා වෛරස හා බැක්ටීරියා මගින් වන ආසාදනයන් වලක්වා ශරීරයේ නිරෝගීකම පවත්වා ගැනීමට විටමින් C ඉවහල් වනවා. ගෙදරදි  සුලබව හොයාගන්න පුළුවන් දොඩම්, දෙහි , ලෙමන් වැනි පළතුරු නිතර නිතර ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන්.

    

  • සුදු ළූණු

සුදු ළූණු කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාරයට නම් අලුත් දෙයක් නෙමේ. ආහාරයේ ආවේණික රසය, සුවද වැඩිකරගන්න ඒ කාලේ ඉදලම සුදු ළූණු යොදාගත්තත් ඒකෙ තියෙන ගුණයන් ගැන නම් දැනගෙන ඉන්නෙ නැතුව ඇති. සුදු ළූණුවලට විශේෂ හැකියාවක් තියෙනවා ආසාදනවලට එරෙහිව සටන් කරලා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න. ඒ වගේම අධි රුධිර පීඩන තත්ත්වයන් පාලයටත් සුදු ළූණු යෝග්‍යයයි. ධමනි බිත්ති ඝනවීම තමයි වර්තමානයේ හදවත් රෝග රාශියකට හේතුව වෙන්නෙ. සුදු ළූණුවලට ධමනි බිත්ති ඝනවීම වලක්වා ගැනීමටත් හැකියාව තියෙනවා. සුදු ළූණුවල අඩංගු සක්‍රිය සංයෝගයක් විදිහට ඇලිසින් හදුන්වන්න පුළුවන්. සුදු ළූණුවල ප්‍රතිශක්ති වර්ධක ගුණයට හේතුව විදිහට සල්ෆර් අන්තර්ගතය බහුල ඇලිසින් බව තමා පර්යේෂකයන් සදහන් කරන්නෙ.

  • ඉඟුරු

ඉඟුරු කියන්නෙත් සුදු ළූණු වගේම අපේ ආහාරවේලට නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ඊට අමතරව නොයෙක් රස කැවිලි වර්ග තේ වර්ග හදන්නත් ඉඟුරු යොදාගන්නවා. රස වගේම ඉඟුරු ගුණයනුත් ඉතාම ඉහළයි. ඉඟුරු කියන්නෙ හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒ නිසාම බැක්ටීරියා හා වෛරස ආසාදනවලින් සිරුර ආරක්ෂා කරන්න හැකියාව මෙමගින් වර්ධනය වෙනවා. ඒ වගේම දියවැඩියාව හා පිළිකා තත්ත්ව වලටත් හොඳ ඔසුවක් විදිහට ඉඟුරු හදුන්වන්න පුළුවන්. ඉඟුරුවල අඩංගු ප්‍රධාන ජෛව ක්‍රියාකාරී සංඝටකය වන Gingerol එහි ප්‍රදාහ මර්දන හා ප්‍රතිඔක්සිකාරක ගුණයන්ට හේතු වනවා.

  • කහ

කහ කියන්නෙත් සාමාන්‍ය ජීවිතයේදී අපිට නැතුවම බැරි දෙයක්. ආහාර වර්ණකයක් විදිහට  වගේම විෂබීජනාශයක් විදිහටත් අපි කහ පාවිච්චි කරනවා. කලින් සදහන් කරපු කුළුබඩු වර්ගවල වගේම කහ වලත් එයටම අනන්‍ය වූ  වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා. කහ වල ප්‍රධාන ජෛව ක්‍රියාකාරී සංඝටකය වෙන්නෙ Curcumin. කහවල වර්ණයටත් හේතු වෙන්නෙ මේ සංයෝගයම තමයි. හොඳ ඔක්සිකාරකයක් වන මේ සංයෝගයට අපේ ශරීරයේ ප්‍රතිශක්ති ප්‍රතිචාර හා ප්‍රතිදේහ ප්‍රතිචාර වර්ධනය කිරීමටත් හැකියාවක් තියෙනවා. ඒවගේම වෛරස හා බැක්ටීරියා ආසාදන වළක්වා ගන්නත් කහ භාවිතා කරන්න පුළුවන්.

  • බතල හා කැරට්

කැරට් කියන්නෙ කොයි මොහොතෙත් ගෙදර හොයාගන්න අපහසු වන දෙයක් නෙමේ. බතල කියන්නෙත්  හැමෝම ගොඩක් ප්‍රිය කරන අල වර්ගයක්. නිතර ආහාරයට ගත්තත් අපි නොදන්නා වටිනාකම් ගණනාවක් මේවායේ  තියෙනවා. කැරට්වල වගේම බතලවලත් අඩංගු ප්‍රධාන සංඝටකයක් විදිහට beta carotene හදුනන්න පුළුවන්. මෙය තැඹිලි පැහැ වර්ණකයක්. විටමින්  A බහුලව අඩංගු වන මෙය බැක්ටීරියා හා වෛරස ආසාදනවලට එරෙහිව සටන් කරන සුදු රුධිරාණු නිශ්පාදනයට  වැදගත් වෙනවා. මීට අමතරව ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උපකාරී වන ශ්ලේෂ්මල පටල ගොඩනැගීමටද වැදගත් වනවා.

    

  • ගස්ලබු

ලොකු කුඩා වයස් භේදයක් නැතුව හැමෝම එක වගේ කන්න කැමති පළතුරු වර්ගයක් තමා ගස්ලබු කියන්නෙ. කලින්  සඳහන් කලා වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට අත්‍යාවශ්‍ය සංඝටකයක් වන විටමින් C  බහුල පළතුරක්. විටමින් C වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයත් අපෙ ප්‍රතිශක්ති වර්ධනයට උදව් වෙනවා. ඊට අමතරව ගස්ලබුවල අඩංගු වන පොටෑසියම්, මැග්නිසියම් හා ෆෝලේට් අයණත් සිරුරේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගන්න උපකාරී වනවා.

  • Green Tea

ලංකාව තේ නිෂ්පාදනයට ලෝකය පුරාම නමක් දිනාගත්ත රටක්. ලංකාවෙ අපිට නම් දවසකට තේ කෝප්පයක් වරදින්නෙ නෑ. පුරුද්දක් විදිහට තේ බිව්වත් තේවල තියෙන සෞඛ්‍යමය වටිනාකමත් එක්ක අපිට කොච්චර තේ වැදගත්ද කියලා දැනගන්න පුළුවන්. අපි එදිනෙදා පානය කරන black tea වලට වඩා අද වන විට Green Tea පානය අලුත් රැල්ලක් වෙලා තියෙන්නෙ ඒකෙ තියෙන සෞඛ්‍යමය වටිනාකම නිසාමයි. Green Tea වල අඩංගු වන Flavonoid සංයෝගයන් වගේම Theanine වැනි ඇමයිනෝ අම්ලයන්ද සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් නිරෝගීබව පවත්වා ගැනීමට හේතු වනවා.

Prevention is better than cure. ඕනෑම රෝගයක් ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම වැදගත්. ඒක නිසා ලෙඩක් හැදුන ගමන් doctors ලව channel කරගනෙ antibiotics හොයන්න දුවන්නෙ නැතුව අපේ එදිනෙදා ආහාර පුරුදු වලට මෙම ගුණදායී ආහාර ඇතුළත් කරගතහොත් එයින් ලැබෙන ප්‍රතිලාභ ශරීරයට හිතකරයි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්