කොස් ඇට අපතේ යවන්න එපා. කොස් ඇට මුල්ල හරියටම මේ විදිහට හදාගන්න

කොහොමද යාලුවනේ. ඔන්න අපි ආයෙමත් කොස් ඇට ගැන ලිපියක් ලියන්න හිතුවා. ඒකට හේතුව තමයි මට ගොඩක් දුකයි අනේ. මේ දවස් වල කොස් ඇට බොහෝමයක් අපතේ යනවා. මේ ගැන දුක් හිතිලා තමයි මේ ලිපිය ලියන්න හිතුවේ. අපි දැන් දවස් කීපයකට කලින් කතා කරන්න වැලි කොස් ඇට දාන් නැතුව කොස්ඇට කොහොමද කල්තබා ගන්නෙ කියලා. ඒ ලිපිය කියෙව්වේ නැත්තම් ඒ ලිපියත් කියවන්න. මම පහලින් ලින්ක් එක දාන්න දාන්නම්.

ඉතින් අද කතා කරන්න හදන්නේ කොස් ඇට වල තියෙන ගුණ වගේම, වැලි කොස් ඇට නිවැරදිව දාගන්නේ කොහොමද කියලා.

ගෙදර දොරේ උයන පිහන කොට ගොඩක් ව්‍යංජනවල රසය තවත් වැඩි කරගන්න අපි පුරුද්දක් විදියට කොස් ඇට ටිකක් එකතු කරගන්න අමතක කරන්නෙ නෑ. මොකද කොස් ඇට ටිකක් ව්‍යංජනයකට දැම්මම ඒකෙ තියෙන කදිම රස අප හොඳාකාරවම දන්නා නිසා. කෙසේ නමුත් අපේ පැරැන්නො නම් කෙසෙල් මුව,තිබ්බටු,එළබටු,කැකිරි වගේ ව්‍යංජන හදනකොට කොස් ඇට ටිකක් දාන්න අමතක කළේ නම් නෑ.

මෙහෙම කියද්දි සමහරු කියයි හැමදාම කොස් ඇට එකතු කරන්න අපිට කොයින්ද කොස් ඇට කියලා. මොකද කොස් ඇට ගන්න හැමදාම කොස් හැදෙන්නෙ නෑනෙ. අහලා තියෙනවද කොස් ඇට මුල්ල ගැන. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති.

ඒ නිසා තමයි අපි අද කොස් ඇට මුල්ල ගැන කතා කරන්න හිතුවේ.

ඉස්සර, ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.

මෙන්න මෙහෙමයි කොස් ඇට මුල්ල හදාගන්නෙ.

අවශ්‍ය දේවල්.

  • ඉදුණු වැල ගෙඩියක ඇට
  • වැලි
  • හුබස් මැටි

වැඩේ වෙන්නෙ මෙහෙමයි

  • මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. අවුවේ කීවට වේලන්න ඕනි මද පවනේ. සැර අවුවේ වේලන්න එපා. මොකද අව් රස එන්න පුළුවන් එතකොට.
  • ඊට පස්සේ ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා.
  • ඊට පස්සේ ඊට උඩින් වැලි ටිකක් දානවා. ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්.
  • ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලා.

කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමාණයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා.

දන්නවද?කොස් ඇට වල තිබෙන්නේ කොස් මදුළු වලටම නොදෙවනි ගුණයක්. කොස් ඇට පිටි ග්‍රෑම් 100ක

  • කැලරි 382 ක ශක්තිය ගැබ්ව තිබෙනවා.
  • වියළි බරින් 80% ක් පමණ කාබොහයිඩ්‍රේට
  • 13%ක් පමණ ප්‍රොටීන්
  • 3%ක් පමණ තන්තුද තිබෙනවා
  • වඩා වැදගත් කාරණාව තමයි කොස් ඇට වල 1% පමණ සුළු ප්‍රමාණයක් මේදය අඩංගු වීම.
  • ඒ වගේම සැළකිය යුතු ප්‍රමාණයකින් පොටෑසියම් අන්තර්ගත වනවා
  • සෝඩියම් ද අන්තර්ගතයි.
  • සින්ක්, කැල්සියම්, තඹ හා මැංගනීස් ද සුළු ප්‍රමාණ වලින් තිබෙනවා.

ලැබෙන ප්‍රතිලාබ බලන්නකෝ

  • කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක්. එහි අංශුමාත්‍රික ප්‍රමාණ වලින් ඇති ඛණිජ ලවණ නිසා මානසික ආතතිය අඩු කරනවා
  • සමේ සෞඛ්‍යයත් රැක දෙනවා. කොස් ඇට ආහාරයට එක් කරගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා කරනවා
  • හිසකෙස් වල ශක්තියත් වැඩි වෙනවා.
  • කොස් ඇට වල ඇති යකඩ වල බහුලත්වය නිසා හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වීමට හොඳ උදව්වක් වෙනවා.
  • විශේෂයෙන්ම ඔබ ශාක ආහාර මත යැපෙන්නෙක් නම් නිති පතා කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් නීරක්තිය හා රුධිරය සම්බන්ධ අනෙකුත් සංකූලතා ඇති වීමේ අවදානම අවම කරගන්නට පුළුවන්.
  • කොස් ඇට වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් හා රයිබොෆ්ලවින් අන්තර්ගතයි වගේම සම, හිසකෙස් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට මේවා වැදගත් වනවා.
  • රයිබොෆ්ලේවින් වල ප්‍රති ඔක්සිකාරක ගුණද තිබෙනවා.
  • කොස් ඇට වල ශරීරයට වැදගත් රසායන ද්‍රව්‍ය කිහිපයක්ම අන්තර්ගතයි. එහි ඇති පොලිෆීනෝල ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු අතර පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කරනවා.
  • සැපොනින් වල ද පිළිකා නැසීමේ ගුණයක් ඇති අතර ෆ්ලේවනොයිඩ රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරනවා.
  • මේවායේ තන්තු බහුල නිසා මළ බද්ධය සඳහාද ප්‍රෝටීන බහුල නිසා මාංශ පේශි වර්ධනයටද භාවිතා කළ හැකියි
  • කොස් ඇට 25ක බිත්තරයක ගුණ තියනවා කියලත් කියනවනේ. නිර්මාංශ අයට ප්‍රෝටීන් ගන්න හොඳ ක්‍රමයක් මේක.

ඉතින් ඔය අනික් කෑම වගේ කොස් ඇටත් මේ විදියට එදිනෙදා කෑමට එකතු කරගෙන බලන්නකෝ.

 මේ දවස්වල ගස් යට කුණුවෙන කොස් ඇට කල්තබා ගන්න ලේසිම ක්‍රමය

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්