අධි නාගරික කොළඹ නගරයේ මෙතරම් සුන්දර තෙත්බිමක් තිබෙන බව ඔබ දැන සිටියා ද? කොළඹ සිටින ඔබගේ විඩාව නිවන්න, සුන්දර පරිසරයක ආශ්වාදය විඳගන්න අනිවාර්යෙන්ම බැද්දගාන තෙත්බිම උද්‍යානයට එක්වරක් හො යන්න.

නාගරීකරණය වූ පරිසරයක අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වහාව සොන්දර්යය විඳගත හැකි බැද්දගාන තෙත්බිම් උද්‍යානය 2016 ජූනි මස 25 වනදා ජනතා අයිතියට පත්වුණා. බැද්දගාන තෙත්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක, නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ තමයි පිහිටා තියෙන්නේ. සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමටද ඇතුළත් වෙනවා.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය, තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයනවා. එපමණක් නොව පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටක්. අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය පිළිබඳ වාර්තා රැසක් මෙයට සාක්‍ෂි සපයනවා.

නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන අතරම, විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බවට හඳුනාගෙන ඇත.

මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වෙලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Landscape Architect) සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Architect) විසින්.

විද්‍යාත්මක ගවේෂකයෙකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය වටිනා තෝතැන්නක්. ඒව වගේම ඔබ ආදරේ කරන ආදරණීයයන් සමග ජීවිතේ එක් දවසක් වෙනස්ම විදිහකට විඳින්න හොදම තැනක් විදිහට මෙම උද්‍යානය හඳුන්වන්න පුළුවන්. නමුත් සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මේ සුන්දර පරිසරය දෑසින් විතරක් විඳගෙන පා සටහන් පමණක් ඉතුරුකර මතකයන් පමණක් රැගෙන ඒමට වගබලාග ගත යුතුයි.

baddagana wetland park location – https://goo.gl/maps/p8K8hUoThV6M5JL96

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්