මෙය අසාමාන්‍ය දක්ෂතා පිරි විශේෂිත යුවතියක් ගැන කතාවකි. ඊටත් වැඩියෙන් මෙය ඔබට ඔබ අවට සමාජය ගැන අළුතින් හිතන්නට පොළඹවන කතාවකි. 

 

විකාශනය වීම ඇරඹි දා පටන් නෙට්ෆිල්ක් හි වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් අත්පත් කරගමින් top 10 හි රැඳී සිටින මෙම කොරියානු මාලා නාටකය නමින් “Extraordinary Attorney Woo” නම් වේ.

 

මෙම නාට්‍ය පිළිබඳව ඔබ වෙත ගෙන ඒමට තීරණය කළේ මෙය ඔබ , මම එදිනෙදා දකින ශාරනයන්ගෙන් ඔබ්බට ගිය, සමාජයේ වැඩි පිරිසකගේ අවධානයට ලක් නොවූ කරුණක් ගැන කියවෙන නාට්‍යයක් නිසාවෙනි.

 

එතෙක් කාලයක් පුරාවට කතා නොමැතිව සිටි,  නමින් “වූ යොන්ග් ඌ” වූ තම පස් හැවිරිදි දියණිය ඔටිසම් තත්වයෙන් පෙලෙන බවට දැනගත් දිනයේම ඇය සතුව සුවිශේෂි දක්ශතාවයක් ඇති බව දැන ගන්නා පියා, ඇය සතුවූ එම සුවිශේෂී දක්ෂතාවය නියම මාර්ගය කරා ගෙන යන්නේ සෝල් ජාතික විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා ගත් පළමු විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යාව ලෙස ඇයව ඉතිහාසගත කරමිනුයි.

 

ඉතාමත් ඉහළ IQ අගයක් හා නීතීය පිළිබඳව හසළ දැනීමක් මෙන්ම සුවිශේෂී මතක ශක්තියකින් හෙබි තරුණියක් වන “වූ යොන්ග් ඌ”ගේ ජීවිතය පිරී තිබෙන්නේ තල්මසුන්ගෙනි.

 

උපාධියෙන් අනතුරුව නීතී ආයතනය කිහිපයකට ඉල්ලුම් කරන නමුත් ඇයව පෙළන ඒ ආබාධය හේතුවෙන් ඒ සියල්ලගෙන්ම අසමත් වන ඇය, පසුව කොරියාවේ ඉහළම පෙළේ නීතීඥ සමාගමක් හා එක්වීමත් සමග පුහුණුවන තරුණ නීතීඥවරියක් ලෙස ඇය සතුව පවතින සුවිශේෂී දක්ශතා එකින් එක දිග හැරෙන්නේ, විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයෙකු ලෙස එදිනෙදා ජීවිතයේ ඇය මුහුණ දෙන අසීරූකම් පිළිබඳවද මොනවට විදහා දක්වමිනුයි. 

 

ඔටිසම් නැමති තත්වයත් සමග බොහෝ දෙමව්පියන් තම දරුවන් ගේ මුල්ලට කරන්නට, ගේ මුල්ලට කර ඇති දැඩි කරන්නට උත්සාහ දරණ සමාජයක, යොන්ග් ඌ ගේ පියා ඇයව මෙහෙයවන ආකාරය අපූරුය. කොටසින් කොටසට අළුත් නඩුවක් සමගින් සමාජය පිළිබඳව අළුත් කතාවක් දිගහැරෙන මෙම නාටකයේ ඇති තවත් සුවිශේෂීම කාරණයක් වන්නේ, සහකම්පනය සහිත මිනිසුන් හට මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ලෝකය කොතරම් පහසු කරදිය හැකිද, කොතරම් ලස්සන කරදිය හැකිද යන කාරණය පෙන්වීම හේතුවෙනි.

 

ආදරය හමුවේ මිනිසුන් සිදු කරනා කැපකිරීම්, දාරක ප්‍රේමය හේතුවෙන් මිනිසුන් ඉවසන ආකාරය, නොගැළපීම් ඉවසන ආකාරය, නූතන අධ්‍යාපන රටාව හමුවේ දරුවන්ට අත්වී ඇති ඉරණම වැනි බොහෝ සිදුවීම් පිළිබඳව ඔබට ගැඹුරින් සිතා බැලීමට ඉඩකඩ සලන මෙම කතා මාලාව තුළින් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පමණක් නොව ලෝකය තුළ සාමාන්‍ය ලෙස ගැනෙන පුද්ගලයින් පවා එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු හා අර්බුදකාරී තත්වයන් පිළිබඳව මානුෂීය හැඟීම් ජනිත කරයි.

 

ඔබේ දරුවාට, ඔබේ ඥාතියෙක්ට හෝ හෝ ඔබට ඔටිසම් හෝ ඒ සමාන ත්ත්වයක් පවතී නම් එය තවදුරටත් ඔබව ලෝකයෙන් වසන් කොට තබන්නට හේතුවක් නොව එය ආශිර්වාදයක් කොට ගෙන ලෝකය දිනන්නට ලැබෙන අවස්ථාවක් බව පෙන්වන මෙම කතා මාලාව තුළ දැකිය හැකි තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ “වූ යොන්ග් ඌ” හට ඇගේ කාර්යාල ප්‍රධානියාගෙන් හා ඇගේ සගයන්ගෙන් ලැබෙන සහයයි. රැකියාවට සුදුසු දක්ෂතාවයක් පවතී නම් අනෙකුත් බාහිර සාධක කිසිවක් ගැටළුවක් නොවන බව පෙන්වන මෙම නාට්‍ය, විවිධ හේතු නිසාවෙන් තම සගයන් බුලි කරන, උපහාසයට, අපහාසයට, අපයෝජනයට ලක්කරන පුද්ගලයින් හට කදිම උදාහරණකි.

 

එමෙන්ම ලොව සෑම තැනකම දකින ආකාරයෙන් යොන්ග් ඌ හටද ඉරිසියාකාරයන් නැත්තේ නොවේ, ඒ සියල්ල දරාගෙන ඉදිරියට යන ඇය, සාමාන්‍ය යුවතියක් මෙන් ආදරය විඳින්නට දරණ උත්සාහයන්, සැබෑ ආදරයට මෙළොව කිසිවක් බාධාව නොවන බවට පෙන්නුම් කරන සිදුවීම් සමග ඉදිරියට ගලන කතාව තුළින්, යොන්ග් ඌ ගේ මව කවුද, මව විසින් ඇයව හා පියා අතහැරියේ මන්ද, යන කුතුහලය ප්‍රේක්ශකයන් තව තවත් කතාව වෙත ඇද බැඳ තබයි.

 

මෙය ඔබ නැරඹිය යුතුම කතාවක් වන්නේ මේ කිසිවක් නිසාවෙන් නොවේ. මේ කතාව තුළ මනුෂ්‍යයෙකු වශයෙන් ඔබට සිතන්නට බොහෝ තැන් පෙන්වාදෙන බැවිනි.

 

නෙට්ෆිල්ක් හරහා ඔබට මෙය නැරඹිය හැකි අතර, ඊට අමතරව කොරියානූ කතා මාලාවන් ගෙන එන විවිධ වෙබ් අඩවි හරහාද නැරඹීමේ හැකියාව පවතී.

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්