විරාත් කෝලි ප්‍රසිද්ධ වී සිටින්නේ ඉතා ඉක්මනින් කෝපයට පත් වෙන ක්‍රීඩකයෙකු ලෙසිනි. එහෙත් ඔහු තුළ විනෝදකාමී සහ සැහැල්ලු මිනිසෙකු ද සිටින බැව් මේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්නුම් කර තිබේ. එය මොන තරම් අසාමාන්‍යදැයි කිවහොත් ක්‍රීඩා ලෝලීන් පමණක් නොව ඔහුගේ බිරිඳ අනුෂ්කා ශර්මා පවා අගය කර තිබිණි.

ඇය එය ඇගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ පළ කර තිබුණේ “ඔබටම හිනා වෙන්නට ඔබට නොහැකි වන්නේ නම් සියවසේ ලොකුම විහිළුව ඔබට මඟ හැරෙන්නේය.” යන කැප්ෂනයත් සමඟය.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තමාට සිදු වූ වැරදීම්, මුහුණ දෙන්නට වූ අසීරුතා ආදියට විරාත් සරදම් කර තිබුණේ අනෙක් අය සිනා ගන්වමිනි. ඔහු ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ක්‍රිඩා කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වෙබ් අඩවියේ ද එම සම්මුඛ සාකච්ඡාව පළ කර තිබිණි.

“මෙන්න වසරේ සම්මුඛ සාකච්ඡාව.. විරාත් කෝලිගේ විනෝදකාමී, අවංක, සැහැල්ලු ස්වභාවය.. මිස්ටර් නැග්ස් පවා ඔහු කේන්ති කරවන්නට උත්සාහ කළා.. ඒත් අවුරුදු ගණනක් දැක පුරුදු කෝලි මතු වුණේ නෑ..”

එහි කැප්ෂනයේ වූයේ එවන් අදහසකි.

මිස්ටර් නැග්ස් යනුවෙන් හඳුන්වා තිබුණේ විකට නළු ඩැනිස් සයිට්ය. ක්‍රීඩකයන් හා ඔවුන්ට සහයෝගය දක්වන කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් යොදා ගනු ලැබ තිබුණේ ඔහුය.

අයි. පී. එල් තරඟාවලියේදී ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවන් පිළිබඳව නිවේදකයා සරදම් කරද්දීත් විරාත් සිනාසුණේය.
සම්මුඛ සාකච්ඡාවේදී විරාත් ඔහු කඳුයායක ගොඩ නඟන්නට අදහස් කරන සිය සිහින නිවසේ කටු සටහනක් ද ඇඳ පෙන්වූයේය. එහි පසෙක ඔහු, අනුෂ්කා ශර්මා සහ දියණිය ද වාමිකා ද විණි.

“නිදහස කියන්නෙ ඒක තමයි..” ඔහු පැවසුවේය.

අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි විවාහ වූයේ 2017 දීය. 2021 දී වාමිකා දියණිය ඔවුන්ගේ පවුලට එකතු වූවාය.

මෙන්න බලන්න තවත් පුවත්