මේලි නිකෝලා රාජපක්ෂ කියන්නෙ නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂගේ ආදරණීය චූටි දූයි. මේලිට වයස අවුරුදු එකයි මාස පහයි. මේලි හරිම දඟකාර දූටි දුවෙක්. ඒ වගේමයි හරිම ක්‍රියාශීලීයි. මේලි නිතරම ඉන්නෙ විමසිල්ලෙන්. චූටි දූ ඇහැරිලා ඉන්න වෙලාවට මුළු ගෙදරම පිරිලා. හැබැයි එයා නිදාගෙන ඉන්න වෙලාවට, දුව කොහේ හරි ගිය වෙලාවට මුළු ගෙදරම පාළුයි කියලයි නෙහාරා කියන්නෙ.

චූටි දුවට මේලි කියන නම දාලා තියෙන්නෙ චූටි දූ ඉපදෙන්නත් කලින්. ඇත්තම කිව්වොත් නෙහාරාගේ කුසට මාස පහක් වෙද්දිම තමයි (මේලි) කියන නම චූටි කළලයට එකතු වුණේ. හැබැයි නෙහාරා (මේලි) කියන නමට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ නෙහාරා පාසල් යන කාලෙදිමයි.

නෙහාරා ඉගෙන ගත්තෙ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් විදුහලෙයි. නෙහාරා එකොළහ වසර ඉගෙන ගනිද්දි පාසල් ශිෂ්‍ය නායිකාවක්. ඉතින්… ශිෂ්‍ය නායිකාවන්ට පන්ති බාර දෙනවනෙ. ඒ නිසාම නෙහාරාට බාරවෙලා තිබුණෙ තුන වසර පන්තිය. මේ තුන වසර පන්තියේ පුංචි චීන ගෑනු ළමයෙකුත් ඉඳලා තියෙනවා. හරිම හුරතල් ලස්සන චූටි පැටික්කියක්. එයාගෙ නම මේලි. චීන භාෂාවෙන් මේලි කියන්නෙ Beautiful කියන තේරුමයි. ඒ චූටි පැටික්කි නිසාම කවදා හරි දවසක මට චූටි දුවෙක් ඉපදුණොත් මම එයාට (මේලි) කියන නම තියනවා කියලා ඉස්කෝලෙ යන කාලෙදිමයි නෙහාරාට හිතිලා තියෙන්නෙ.

කාලය ගෙවිලා ගියා. මේනකයි නෙහාරායි විවාහ වුණා. ආදරණීය අම්මා කෙනෙක් වෙන ආදරණීය ආරංචියත් එක්ක නෙහාරාට (මේලි) ගැනත් මතක් වුණා. ඒ නිසාම නෙහාරා මේනකටත් මේ නම ගැන කතාව කිව්වා. මාස පහෙන් කරපු ස්කෑන් පරීක්ෂණයෙන් දුවෙක් ඉපදෙන සතුටුදායක ආරංචියත් එක්ක නෙහාරායි මේනකයි කුසේ ඉන්න පුංචි පැටියාට (මේලි) කියලා කතා කළා. අද මේ ඇවිත් ඉන්නෙ ඒ මේලිම තමයි. ශාන්ත ලෝරන්ස් විදුහලේ තුන වසර පන්තියේ එදා හිටපු (මේලි) අද ඉන්නෙ විදෙස්ගත වෙලයි. ඒ මේලිගෙන් චූටි මේලිට සිහිවටනයකුත් ලැබුණු බව තමයි ආරංචි වුණේ.

මේලි නිකෝලා දැන් වැඩියෙන්ම එකතු නෙහාරාට. ඒ කියන්නෙ පුංචි මේලිගෙ අම්මටයි. නෙහාරා පහුගිය කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ නොවුණෙත් පුංචි දූ පැටියා නිසාමයි. හැමදේටම වඩා මේ ආදරණීය වස්තුව එයාලට වටිනවනෙ. ඒ නිසාම මේලි හැමවෙලාවෙම නෙහාරාට ළං වුණා. හැබැයි මේනකට තියෙන ආදරය කොච්චරක්ද කියනවා නම් චූටි දූ මුලින්ම කියපු වචනය වුණෙත් (ඩැඩා) කියලයි. ඒක අහලා මේනකට විතරක් නෙමෙයි නෙහාරාටත් පුදුම සතුටුයි.

චූටි දූ ඉපදුණු අලුත සිටම මේලිගේ හැම වැඩ කටයුත්තකක්ම නෙහාරා තමයි කළේ. චූටි දූ නෑව්වෙ නෙහාරා. නිදි කළේ නෙහාරා. හැමදේම කළේ නෙහාරායි. ඒ වෙනුවෙන් නෙහාරාට එයාගේ අම්මා ඇතුළු හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. හැබැයි පුංචි පැටියා ඉපදුණු අලුත ළඟින් ඉඳන් ඒ හැම වැඩ කටයුත්තක්ම කන්න නෙහාරා පුරුදුවෙලයි හිටියේ.

මේලි දැන් හරිම ක්‍රියාශීලී චූටි දුවෙක්. එයා නර්තනය වගේම ගායනයටත් හරි ආසයි. මේලිට වයස අවුරුදු එකයි මාස හතරක් වුණත් ඇහෙන සංගීතයට අනුව එයා දන්නා පුංචි පුංචි සින්දු වචනත් එක්ක හරිම අපූරුවට ගායනා කළා. ඉක්මනින් ඒ හැමදේම ඉගෙන ගන්න පුංචි මේලි ආසයි. ඉපදිලා මාස ගාණක් ගෙවෙද්දි මේලි සංගීතයට අනුව රිද්මයට නැගුවා. අම්මා වගේම තාත්තාගේ කලා උරුමය පුංචි දෝනිට උපතින්ම ලැබිලා තියෙනවා.

චූටි දූ අම්මා තාත්තා රූපවාහිනී තිරයෙන් දකිද්දි බලාගෙන ඉන්නවා. මේනක අධ්‍යක්ෂණය කරපු නෙහාරා රඟපාපු ගුග්ලි ටෙලිනාට්‍ය රෑපවාහිනියෙන් විකාශනය වෙද්දි චූටි දූ බලාගෙන ඉන්නවා. ගුග්ලි ටෙලිනාට්‍යයේ මුල් කාලයේදි නෙහාරාට වැඩිපුරම අඬන දර්ශන තමයි රඟපාන්න තිබුණේ. චරිතයට අනුව බොරුවට නෙහාරා කැමරාව ඉස්සරහ ඇඬුවට රෑපවාහිනිය ඉස්සරහ වාඩිවෙලා මේලි ඇඬුවෙ නම් ඇත්තටමයි. අනේ.. අම්මා අඬද්දි චූටි දෝණිට දුක හිතිලා. කවුද දන්නෙ ඒ රඟපෑමක් කියලා.

මේලි ඇවිදින්න යන්නත් ආසයි. මේලිගේ හොඳම යාළුවා තමයි ස්නෝවි. ඇත්තම කිව්වොත් ස්නෝවි කියන්නෙ නෙහාරාගෙත් මේනකගෙත් බලු පැටියා. මේලි ඉපදෙන්නත් කලින්ම තමයි නෙහාරාගෙයි මේනකගෙයි ස්නෝවි හුරතලා වුණේ. දැන් ඉතින් ඒ දෙන්නගේ වැඩි අවධානය පුංචි මේලිට බව ස්නෝවි දන්නවා. හැබැයි ස්නෝවි මේලිට නම් කිසිම කරදරයක් කරන්නෙ නැහැ.

මේලි තවම චූටි දරුවෙක්. සුරතල් වයසේ පසුවෙන දඟකාර පැටියෙක්. ලෝකය දකින්නට සිටින පුංචි මල් කැකුළක්. අනාගතය ගැන හීන දකින්නට මේනකගෙන්වත් නෙහාරාගෙන්වත් බලපෑමක් මේලිට නැහැ. හැබැයි මොන දේ කළත් හොඳ ඉගෙනීමක් වගේම හොඳ ගුණගරුක දරුවෙක් ඔවුන්ගේ පැතුමයි.

ඉතින් මේ ආදරණීය පවුලේ ආදරණීය ප්‍රාර්ථානාවන් සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉටු වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්