wimal weerawansa
 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු තවත් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 29 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම මගින් මහජන පීඩාවක් සිදු කලේ යයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මගින් එම නඩුව පවරා තිබුණි.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අයයි.

මේ අතර මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (30) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. ඇයට අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියමවී තිබුණි.

මේ අනුව ශෂී වීරවංශගේ නීතීඥවරුන් අදාළ සිර දඬුවමට එරෙහිව පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ අභියාචනයද අද සළකා බැලීමට නියමිතය.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්