ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා ඇප මත මුදාහරිනවාද? නැද්ද? යන්න තීන්දුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (15) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි හයසිය හතළිහක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා රිමාන්ඩ් භාරයේ පසුවනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව අද (15 වැනිදා) වන විට දින 7ක් රිමාන්ඩ් භාරයේ සිටි ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය තම සේවාදායකයන් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සැකරුවන්ට ඇප ලබාදුනහොත් ඔවුන්ට ඇති බලය නිසා විමර්ශනයේ සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි බවයි.

එලෙස ඔවුන්ට ඇප ලබා දුනහොත් විමර්ශනයට අදාළ වැදගත් ලිපි ලේඛන පවා විනාශ කිරීමට හැකි බව පෙන්වා දුන් ඔහු සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්