vikum liyanage
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදි ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් විකුම් ලියනගේ වෙත ඊට අදාළ ලිපිය භාරදී ඇත. හෙට (01) යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇත.

මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබාගත් විකුම් ලියනගේ දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට පත්කෙරිණි.

35වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණදෙන, අණදෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති විකුම් ලියනගේ මහතා ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා තිබේ.

මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 8වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කළ ලියනගේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත් වූ පුද්ගලයෙකි.

මෙන්න බලන්න තවත් පුවත්