central bank of sri lanka
 

දෙසතියක් තුල බිලියන 104ක් අච්චු ගසයි

පසුගිය සති දෙකක කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් බිලියන 104ක මුදලක් මුද්‍රණය කර තිබෙන බව නිල වාර්තා අනාවරණය කර තිබේ. කෙසේ වෙතත් මැයි 11 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා වූ කාලය ඇතුළත මහ බැංකුව විසින් මෙම මුදල් ප්‍රමාණය මුද්‍රණය කර ඇත්තේ රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් ට්‍රිලියනයක මුදලක් මුද්‍රණය කිරීමට සිදුවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති පසුබිමකය.

මේ අතර රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දී තිබුණේ ඉදිරි මාසවලදී රටේ උද්ධමනය 40% ඉක්මවිය හැකි බවය.

තවද මින් පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කර තිබුනේ රජය බදු වැඩි කිරීමක් සිදු නොකළ හොත් රජයේ වියදම් සඳහා මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවය.

nandalal weerasinghe

පසුගිය දෙසතියේ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ මැයි 20 වැනිදා වන අතර එය ආචාර්ය වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දිනක් තුල මුද්‍රණය කල වැඩිම මුදල් ප්‍රමාණය වෙයි. ඒ අනුව රුපියල් බිලියන 85.3ක මුදලක් මුද්‍රණය කර ඇත.

රුපියල් බිලියන 572ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වසරේ මේ දක්වා ගතවූ කාලයේදී මුද්‍රණය කර ඇත. කෙසේ නමුත් 2021 වර්ෂයේදී මුද්‍රණය කර ඇති සම්මත මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2ක් වන අතර 2020 දී එම අගය රුපියල් බිලියන 650කි.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්