මොරටුව විශ්ව විද්‍යාලය සතුව පැවති මෙරට වෙබ් අඩවිවල ඩොමේන් නාමයේ අයිතිය මේ වන විට පුද්ගලික ආයතනයක් සතුව ඇත.

ජාතික ඩොමේන් නාමයේ අයිතිය සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා’ ඊයේ දිනයේ පැවති පුද්ගලික රුපවාහිනී මාධ්‍ය ආයතනයක වැඩ සටහනකට එක්වෙමින් සඳහන් කොට ඇත.

මෙරට ඩොමේන් නාමය ලෙස භාවිතා කරන්නේ LK යන ඩොමේන් නාමය වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්,

“මොරටුව විශ්වවිද්‍යාල විමර්ශනයේදී මෙතෙක් අනාවරණය නොවූ බරපතළ කාරණා ගණනාවක් අනාවරණය වුණා. මේක රටට කියන්න ඕන. අපි කවුරුත් LK ඩොමේන් කියල කියනවා. ලංකාවේ ඩොමේන් නාමය LK කියල කියන්නේ. ඩොට් LK කියන එක. LK ඩොමේන් එක මොරටුව විශ්වවිද්‍යාලයේ රාජ්‍යය යටතේ තිබුණා කියන එක තමයි රටේ හුඟක් අය දන්නේ. එහෙම තමයි තිබුණේ 2004 වර්ෂයේ. එක ක්‍රමානුකූලව මොරටුව විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා, පොඩි කම්පැනියක් දාලා ඒ කම්පැනියේ අයිතිකරු අතට දැන් ගිහිල්ලා තියෙනවා. මුළු රටේම රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන සියලුම ආයතන, අපේ වෙබ් අඩවිය විදියට තියාගන්න වෙබ් ඇඩ්‍රස් එක LK ඩොමේන් එකේ තියෙන්නේ. හැබැයි ඒකට කිසිම රාජ්‍යමය සම්බන්ධයක් නෑ. ”

“අමෙරිකාවේ ගත්තත්, ලෝකේ කිසිම රටක නෑ රටේ තියෙන ප්‍රධානම බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට තියෙන කන්ට්‍රි ලෝගෝ එක, එහෙම නැත්නම් ඒක පවතින ඩොමේන් එකට පොඩි හරි අයිතියක් රාජ්‍යයට තිබීම ඉතා වැදගත්. මොකද ඒකෙ වැරැද්දක් වුණොත් නිවැරදි කරන්න පුළුවන්. මේ රටේ ආරක්ෂක අමාත්‍යංශය ඉඳලා ඔක්කොම අමාත්‍යංශවල වෙබ් ඇඩ්‍රස් එක ඩොමේන් එක ගන්නේ මෙතැනින්. අපි කවුරුත් ඉබේට හිතාගෙන ඉන්නේ මේක මොරටුව විශ්වවිද්‍යාලයේ නේද කරන්නේ කියලා. එහෙම තමයි පටන්ගත්තේ. ක්‍රමානුකූලව කොටස් අයිතිකරුවන් මාරුකරගෙන ඒ ඇඩ්‍රස් එකෙනුත් එළියට ගිහිල්ලා දැන් ඒක වෙනම තැනක ස්ථාපිත වෙලා තියෙනවා. ”

“බොහෝදුරට ඉන්නේ සහචර ධනවාදීන්. ඒ කියන්නේ රාජ්‍යයට ගැටගැහිච්ච එකක් හිමීට ගලවාගෙන ඒකෙන් එළියට ඇවිල්ලා විශාල සල්ලිකාරයන් විශාල බලවතුන් වාගේ පෙන්නනවා. එහෙම එව්වා තමයි මේ තියෙන්නේ. සමහරු කියනවා දේශපාලනඥයෝ විතරයි මේවට සම්බන්ධ කියලා, දේශපාලනඥයෝත් මේවට සම්බන්ධයි දේශපාලනඥයෝ නොවන අයත් මේවට සම්බන්ධයි. “

මෙන්න බලන්න තවත් පුවත්