ලෝක බැංකු දත්ත අනුව ගතවන සෑම තත්පරයකදී ම භාවිත කළ මුව ආවරණ (Face Mask) පනස් දාහක් පරිසරයට එක්වන බව පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කර සිටිනවා.

එම සංඛ්‍යා දත්ත හෙළි කරන අයුරින් ලෝකය පුරා ම ගතවන සෑම මිනිත්තුවකදීම මුව ආවරණ ලක්ෂ තිහක් පරිසරයට මුදා හැරෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මාසයකට මුව ආවරණ බිලියන එකසිය විසි නවයක් පරිසරයට මුදා හැරෙන බවත් අක්‍රමවත් අයුරින් පරිසරයට මුදා හැරෙන මුව ආවරණ බිලියන 1.56ක් වසරකට මුහුදට එක්වන බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කළේ.

එය දළ වශයෙන් ගණන් බැලූ විට හොඳින් වැඩුණු නිල් තල් මසුන් හැට දෙදෙනෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන වන බව ද ඔහු කියා සිටියේ.

වසංගත ආරම්භ වූ පසු මුහුදට එක් වන සායනික අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 87කින් ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකු සංඛ්‍යා දත්ත ඔස්සේ හෙළි වන බව ද සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසුවේ.

ලොව පුරා මුව ආවරණ භාවිත කරන බහුතරයක් පාහේ ඒවා පාවිච්චියෙන් පසු විධිමත් අයුරින් බැහැර නොකෙරෙන බව හෙළි වී ඇති බවත් අවිධිමත් ලෙස මුව ආවරණ බැහැර කිරීම් නිසා සතුන්ගේ ක්‍රියාකාරකම් හා චර්යාවන්ට බාධාවක් පමුණුවනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතවලට පවා හානි ගෙන දෙන බවද සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කර සිටියේ.

එක් වරක් පමණක් භාවිත කොට ඉවත් කෙරෙන මුව ආවරණ නිපදවන පොලිප්‍රොපිලීන් දහනය වූ ඉන් නිකුත් වන දුම ආඝ්‍රාණයෙන් පෙනහලුවලට හානි ගෙන දෙන රෝග ඇතිවන බව ද ඔහු සඳහන් කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්