මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි(Yury Materiy) හමුවූණා.

මෙම හමුව අද ඊයේ සවස කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ දී පැවැත්වුණු බවයි වාර්තා වෙන්නේ.

එම සාකච්ජාවෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුයේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි පැවසු බවයි.

බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උදව් කිරීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණයේ පවතින මානුෂවාදී තත්ත්වය අනුව උදව් කිරීමට රුසියානු රජය නොපැකිලෙනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.

එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ ප්‍රසන්න නොවන වාතාවරණයක් ඇතිවූ බවත්, එරට සංචාරකයන් දැනටත් වෙනත් ගුවන් සේවා හරහා ශ්‍රී ලංකාවට පැමිණියත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව තානාපතිවරයා පැවසු බව විමල් වීරවංශ පවසනවා.

එමෙන්ම රජය නියෝජනය කරන ශක්තිමත් බලවත් කණ්ඩායමක් තම යෝජනා අතැතිව මොස්කව් බලා ගොස් ඉන්දියාව කළා වැනි සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

රුසියාවෙන් අපට ආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ණය ආධාර සම්පූර්ණයෙන් භාවිතා කර නැති අතර, එහි අඩකට වැඩි කොටසක් ඉතිරි නිසා ප්‍රමාණය හෝ වත්මන් අවශ්‍යතා වෙනුවෙන් යොදවන්න බැරිදැයි කළ විමසීමේ දී එම ඉල්ලීම ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉදිරිපත් විය යුතු බව තානාපතිවරයා පැවසූ බව ද හෙතෙම පැවසුවා.

එබැවින් වහාම මෙම පියවර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී වීරසිංහ, උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.ඒ.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා

මෙන්න බලන්න තවත් පුවත්