අද (20) පෙරවරු 10.00 ට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පාර්ලිමේන්තුවරැස් වීමට නියමිතයි.

පසුගිය 14 වැනි දා සිට පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කර ගැනීම සදහා යෝජනාවූ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේදී ස්ථිර විය.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 1981 ජනාධිපතිවරණ විශේෂ විධි විධාන පනත අනුවය

මෙම අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් පළමු දෙවැනි හා තෙවැනි මනාප ද සලකුණු කිරීමට මන්ත්‍රීවරුන්ට අවකාශ හිමිවේ.

අද පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නා තැනැත්තා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරීපත්වනු ඇති අතර අනුප්‍රාත්තික ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට හා ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීම මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක බෙදීම් සිදුවී තිබේ.

ඒ හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරණ සටන වඩාත් උණුසුම්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරි වසර දෙකහමාරකටත් අධික කාලයක් සඳහා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට වරම් හිමි කර ගන්නා අනුප්‍රාප්තිකයාට ද මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරයාට සමාන සියලු බලතල හා වරප්‍රසාද හිමි වනු ඇති.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ද සිය කැමැත්තෙන් ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඉවත් කළ හැක්කේ දීර්ඝ ක්‍රියාවලියක් වන දෝෂාභියෝගයකින් පමණි.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්