සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුසියාව, චීනය සහ ඉන්දියාව ඉලක්ක කරගත් සැලසුමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එහි සභාපති චලක ගජබාහු මහතා බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ, එම වැඩපිළිවෙල සඳහා සන්නාම තානාපතිවරයෙකු ලෙස ලෝකප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා යොදාගැනීමේ සැලසුමක් ඇති බවයි.

තම ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව ලබාදෙන්නේ නම් යළි සංචාරක කර්මාන්තය නංවාලිය හැකි බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් ද පවසනවා.

2018 දී උපරිම තලයට ආ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක්.

නමුත්, 2019 එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අපේ රටේ සංචාරක කර්මාන්තයට මරු පහරක් වුණා.

එම වසරේදීත් ලොව විවිධ රටවලින් ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් අප ලැබූ ආදායම ඩොලර් බිලියන 3.6 ක්.

නමුත් ලෝකයට බලපෑ කොවිඩ් වසංගතය ලංකාවේ සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කළා.

ඒ අනුව 2020 දී සංචාරකයින්ගේ පැමිණීම 507,704 ක් දක්වා සීමාවූ අතර ඉපැයූ ආදායම ඩොලර් මිලියන 682ක් දක්වා පහත වැටුණා.

කොවිඩ් බලපෑම 2021 දක්වා පැතිරුණු අතර එම වසරේ ආදායම දැක්වුණේ, ඩොලර් මිලියන 506 ලෙසයි.

මේ වසර ආරම්භයේ දී සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වුවත් එය පසුගිය මාසවල විශාල කඩාවැටීමකට ලක්වුණා.

ඒ මෙරට දැඩි ආර්ථික අර්බුදයත් සමගයි.

ගෑස් අර්බුදය, ඉන්ධන අර්බුදය, නිරන්තර විදුලිය විසන්ධිවීම් සංචාරක කර්මාන්තයට එල්ල කළ බලපෑම එන්න එන්නම ප්‍රබල වී තිබුණා.

ඒ අනුව 2022 වසරේ මේ දක්වා අප රටට පැමිණ ඇත්තේ, සංචාරකයින් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් පමණයි.

නමුත් තම කර්මාන්තය සඳහා ප්‍රමුඛතාව ලබාදුනහොත් සංචාරක ක්ෂේත්‍රය නැවත නඟාසිටුවිය හැකි බව සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්