යුක්‍රේනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනටමත් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. ඊට එක්වූ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසුවේ යුක්‍රේනයේ අර්බුධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

මේ වනවිට යුක්ක්‍රේනය තුළ ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු සිටිනවා. ඉන් 14 දෙනෙකු සිසුන්. ඒ අතරින් 8 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් වී තිබෙනවා. තවත් දෙදෙනෙකු ලබන සඳුදා එරටින් පිටත් වීමට සූදානමින් පසු වුවද ගුවන් යානා ගැටළුව හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව ලැබේවිදැයි තවමත් ඇත්තේ සැකයක්. සෙසු පිරිසෙන් සිව් දෙනෙකු යුක්ක්‍රේනය තුළ රැදී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා. සිසුන් හැර සෙසු 51 දෙනා දීර්ඝ කාලීනව යුක්ක්‍රේනය තුළ පදිංචිව සිටින පිරිසක්.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැනටමත් කටයුතු සූදානම් කර තිබෙනවා. ඔවුන් මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසයි යුක්‍රේන අගනුවර වන කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්