ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

යුක්රේනයේ අගනුවර වන කිව් සඳහා සමගාමීව අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.

විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දෙයි

මෙන්න බලන්න තවත් පුවත්