ඩීසල් තොග ප්‍රමාණවත් තරම් මේ වනවිට මෙරටට ලැබී ඇති අතර ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් පවතින පසුබිමකයි.

ලංකා IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මේ වනවිට ජනතාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත වැඩි වශයෙන් යොමුවීමට ආරම්භ වී තිබේ. ඒ හේතුවෙන් මේ වනවිට එම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක්ද මතුව තිබෙනවා.

කෙසේවෙතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද කොළඹ වරාය වෙත ළඟාවී තිබුණා.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව මෙරටට ලබාදීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන තුරු මෙම ඩීසල් තොගය මෙරටට එවා තිබේ.

එම ඩීසල් තොග රැගත් නෞකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් භාරගනු ලැබුවා.

“මුදල් දෙන ඕනම කෙනෙකුට ඉන්ධන දෙන්න අපි සූදානම්. අපි ළඟ දැන් තෙල් තියෙනවා. මම ඉල්ලීමක් කරලා තියෙනවා තෙල් මත තියෙන සියලුම බදු ඉවත් කරලා දෙන්න කියලා. එහෙම වුණොත් මිල වැඩිකිරීමකින් තොරව කරගෙන යන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මිල වැඩිවෙන්නේ මධ්‍යම රාත්‍රියේ. නමුත් තාමත් අපි එවැනි තීරණයක් අරගෙන නෑ.” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවට අයත් කෙරවලපිටිය අංගනය වෙත පොම්ප කිරීම අද ආරම්භ කෙරුණා.

මෙන්න බලන්න තවත් පුවත්