බද්දේගම රාජ්‍ය වතුයායට අයත් මිරිස්වත්ත කොටියකන්ඳ ප්‍රදේශයේ අඩි 30 ක ගැඹුරකින් යුත් වළකට වැටී සිටි කාන්තාවක් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මුදාගෙන තිබෙනවා.

අදාළ ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයින් පිරිසකට කෙඳිරිලි හඬක් ඇසීම හේතුවෙන් ඒ පිළිබඳ බද්දේගම පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී කාන්තාවක් එම වල තුළට වැටී සිටින ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම වලට වැටී සිටි කාන්තාව ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක යෙදීමට සිදුවූ බවයි පොලීසිය පැවසුවේ. අදාළ කාන්තාවගේ  හිසට සහ මුහුණට තුවාල සිදුව ඇති බැවින් ඇය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

එම කාන්තාව වැටී ඇත්තේ මිණිරන් ලබා ගැනීම සඳහා හාරන ලද පැරණි වලකට බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්