පාපැදියෙන් රැකියාවට පැමිණීමේ ආදර්ශය ඉහළ සිට ලබාදීමේ එකඟතාවයකට පැමිණ ඇති බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඒ අනුව ඉදිරියේදී මැතිඇමතිවරුන් ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණෙනු ඇති බවයි.

“ඉදිරියේදී අමාත්‍යවරුන්ටත් සතියට බැරිනම් මාසෙකට දවසක්වත් පාපැදියක් භාවිත කිරීමේ තත්ත්වයකට එන්න පුළුවන් කමක් තියෙයි. යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ දේවල්.”

“නමුත් අපි හිතනවා ක්‍රමානුකූලව එහෙම එන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා. උඩ සිට පහළටම ඒ ආදර්ශය ලබාදෙන එකඟතාවයකට ආවා. ඒ නිසා එක සැරයටම අහන්න එපා හෙට ඉඳලා බයිසිකලයෙන් ද යන්නේ කියලා. නමුත් අනාගතයේ මැතිඇමතිවරු, දේශපාලනඥයින් ඒ තත්ත්වයට එයි.”

“දැනටමත් රජයේ ඉහළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පපාපැදියෙන් කාර්යාලවලට එනවා. ඒ අයව අගය කරන වැඩසටහන් ඉදිරියේදී පරිසර අමාත්‍යාංශය සංවිධානය කරනවා.” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් සක්‍රීය වාහන ප්‍රමණය මිලියන කට අධික වන අතර, එය මේ වනවිට 2000 වර්ෂයට වඩා තුන් ගුණයකින් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන්ම ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සහ මෝටර් රථ වැනි පුද්ගලික වාහන ආනයනය ඉහළ යාම ඒ සඳහා හේතුවී ඇති බව ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවී ඇත.

එසේම ආදායම් මට්ටම ඉහළ යෑම සහ පවතින පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ඇති වන අපහසුතා හේතුවෙන් පුද්ගලික වාහන භාවිතයට ජනතාව අතර වැඩි නැඹුරුවක් පවතින බවද පෙනී යන බව එම සාකච්ඡාවේදී කරුණු අනාවරණය වී තිබේ.

පෞද්ගලික මෝටර් රථ භාවිතය සීඝ්‍ර ලෙස වර්ධනයවීම මෝටර් නොවන ප්‍රවාහන ක්‍රමයන් හි දායකත්වය අඩුවීමට ද හේතු වී ඇති බව එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ,මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය තුළින් වායු දුෂණය අවම කිරීම මෙන්ම ශරීර සෞඛ්‍ය, වාතයේ ගුණාත්මකභාවය, පරිසරය, දේශගුණික විපර්යාස සහ පුද්ගල මුල්‍ය තත්ත්වය වැනි කරුණු කෙරෙහි ධනාත්මක බලපෑමක් ද ඇති කරන බවය.

එබැවින් ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ළඟා කරගැනීම සඳහා මෝටර් නොවන ක්‍රමවේදයන් පවතින ප්‍රවාහන පද්ධතීන් සමග ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ අමාත්‍යාංශ සහ ආයතන විසින් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ පහත සඳහන් පියවරයන් ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් එකඟතාව ලබාදී තිබේ.

1. පවතින මාර්ග සඳහා සුදුසු පරිදි පාපැදි මංතීරු සලකුණු කිරීම සහ පදිකයින් සඳහා වන දැනට පවතින ඇවිදීමේ මංතීරු වැඩිදියුණු කිරීම.

2. අනාගතයේ ඉදි කරණු ලබන මාර්ග සඳහා පාපැදි සහ ඇවිදීමේ මංතීරු ඇතුළත් කිරීමට පියවර ගැනීම.

3. රජයේ කාර්යාල කාර්යමණ්ඩල සඳහා පාපැදි භාවිතය දිරි ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

4. කාර්යාලවල පාපැදි භාවිත කරන්නන් සඳහා ඒවා නවතා තැබීමේ ස්ථාන සහ ප්‍රවේශය ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දීම.

 

මෙන්න බලන්න තවත් පුවත්