යුක්‍රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් සිය රටට සම්බාධක පැනවීම පිස්සුවක් මෙන්ම තමන් කිසිසේත් සැලකිල්ලට නොගන්නා කරුණක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෙන් පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කර ඇති බවයි.

සිය රටට සම්බාධක පැනවීම හරහා රටේ ආර්ථිකය පුපුරුවා හැරීමට බටහිර රටවල් දියත් කළ වැඩපිළිවෙල ආරම්භයේ සිටම සාර්ථක නොවූ බව පවසන ජනාධිපතිවරයා සිහිපත් කර ඇත්තේ, පැනවූ සම්බාධක හා සීමාවන් නිසා එකී රටවලටම වැඩි හානියක් සිදුවූ බවයි.

බටහිර රටවල් රුසියාවට දඬුවම් කිරීම හා සිය රටවල ආර්ථිකය අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද එරට ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ, රුසියාවට එරෙහි සම්බාධක පැනවීම හමුවේ යුරෝපා සංගමයට අමෙරිකානු ඩොලර් බිලියන 400 ක් අහිමිවිය හැකි බවයි.

තවද යුරෝපා සංගමයේ රටවල් 27 හි උද්ධමනය වැඩි වී ඇති බවත් එම තත්ත්වය හමුවේ යුරෝපා වැසියන්ගේ සැබෑ අවශ්‍යතා පසෙකට තල්ලුවී ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර ජනාධිපති පුටින් රුසියාවේ ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේ, සිය රට තුළ අයෝජනයන් සිදු කරන ලෙසයි.

මෙන්න බලන්න තවත් පුවත්