මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාම සදහා තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති මන්දිරයේ ඊයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ උපදෙස් ලබා දුන් බවයි.

ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධනහල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට එහිදී තීරණය වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කළ බවයි.

තවද, තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා. මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදා ගැනීමටත් එහිදී යෝජනා කෙරුණා.

කාර්යාල සේවය ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන්වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්