ඇමරිකාවේ ප්‍රකෝටිපතියන්ගේ බැංකු ගිණුම්වලට හැකර්වරුන් මාර්ගයෙන් රිංගා මෙරට ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් ඇදීමේ ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චාවකච්චේරි පදිංචි සැකකරුගේ ගිණුමට ඇමරිකානුවකුගේ ගිණුමකින් රහසේ බැරකළ රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂ විසිතුන්දාහක් විමර්ශනවලදී සොයාගෙන ඇත.

විදෙස්ගතව සිටින ද්‍රවිඩ ජාතිකයන් හා එක්වී කළ මෙම ජාවාරමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට වසරක කාලයකදී මෙරට ගිණුම්වලට රුපියල් කෝටි දාහහතරක් දමාගෙන ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙරට සිටින අයගේ ගිණුම්වලට අදාළ කෝටි ගණන් බැරවූ පසු ගිණුම් හිමියන්ට කොටසක් ගෙවා ඉතිරි මුදල් ජාවාරමට සම්බන්ධව සිටින විදෙස් ගතවූවන් නැවත ඔවුන්ගේ ගිණුම්වලට දමාගෙන ඇතැයිද හෙළිවී ඇත.

ඇමරිකාවේ සිටින මෙරටින් ගිය කණ්ඩායමක් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර මේ සම්බන්ධව මෙතෙක් කළ විමර්ශනවලදී පුද්ගලයන් තිස්දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මෙම වංචාව සම්බන්ධව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි විමර්ශන ඒකකය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් තොරතුරු ඔස්සේ විමර්ශනයක් අරඹා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්