ගතවූ මාසයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් යොදා ගනිමින් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන ජාන අනුක්‍රමණ පරීක්ෂණ හෙට දිනයේදී ආරම්භ කරනු ලබන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මිට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ද ඇතුළු මුලතිව්, වව්නියාව, කොළඹ, වරකාපොළ, යාපනය, සපුගස්කන්ද ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතවූ පුද්ගලයින්ගේ සාම්පල් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය වෙත ලැබී ඇති බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියේ.

මෙම පර්යේෂණය සඳහා දින 7ක් සහ 10ක් අතර කාලයක් ගතවන බවත් එහිදී මේ වන විට ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේදයන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගත හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

විදේශ රටවල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයන් කිහිපයක් විදේශගතව සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි පුද්ගලින්ගේ වෛරස් සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.

මේ අතර කොවිඩ් එන්නත ලබාදීම සිදුකල පුද්ගලයින් 2000ක ගේ පමණ රුධිර සාම්පල් නියැදියක් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පර්යේෂණ සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

‘මෙරට කොවිඩ් එන්නත ලබාදුන් පුද්ගලයින් ගෙන් සීයයට 93 කගේ පමණ ප්‍රතිදේහ ගොඩනැගී ඇති බවට හෙලිවූ බවයි කියා සිටියේ. එකෙන් කියන්නේ නැහැ රෝගයෙන් ආරක්ෂා වෙනවා කියලා. දෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම සුදු රුධිරාණු වලින් ලැබෙන ප්‍රතිදේහ ගොඩනැගීම සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකළා. එම සියලු පර්යේෂණ සතුටුදායක මට්ටමක තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වසරක කාලයක් මෙම පර්යේෂණ සිදුකරන්න’ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්