දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ නවතම ක්‍රිකට් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට කටයුතු මේවනවිට සූදානම් කරමින් සිටි බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එලැබෙන 2023 වසරේ ජනවාරි මාසයේ දී මෙම නවතම විස්සයි විස්ස ලීග් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන මෙම නවතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් හයම මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති බව සදහන් වේ.

කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් ව තිබේ.

පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඉන්දීය රුපියල් කෝටි 7,090 ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදී ගත් ඉන්දියාවේ RP Sanjeev Goenka සමූහය විසින් ඩර්බන් නගරය මූලික කරගත් කණ්ඩායම මිලදී ගෙන ඇත.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන Chennai Super Kings Sports Limited ආයතනය විසින් ජොහැනස්බර්ග් කණ්ඩායම මිලදී ගැනීම සදහා ඉහළම ලංසුව ඉදිරිපත් කර තිබේ.

පෝර්ට් එලිසබෙත් කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ ඉන්දියාවේ Sun TV සමූහය හෙවත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරුවන් විසින්ය. එමෙන්ම මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන Reliance Industries ආයතනය විසින් කේප් ටවුන් කණ්ඩායම මිලදී ගෙන ඇත.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන Parth Jindal ගේ ප්‍රධානීත්වයෙන් යුත් Jindal South West Sports ආයතනය විසින් ප්‍රිටෝරියා කණ්ඩායම මිලදී ගෙන ඇති බව සදහන්ය. Paarl කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ කුමාර් සංගක්කාර අධ්‍යක්ෂක ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්ය.

ඒ අනුව ඉන්දියන් ප්‍රිමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, සන්රයිසස් හයිදරාබාද්, රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් මෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ එක් හිමිකරුවෙකු විසින් මෙලෙස දකුණු අප්‍රිකා නව ක්‍රිකට් ලිගයේ කණ්ඩායම් මිලදී ගැනීම සදහා සාර්ථකව ලංසු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම කණ්ඩායම්වල නව හිමිකරුවන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කරනු ඇත.

මෙම නව විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ප්‍රධානියා ලෙස දකුණු අප්‍රිකා හිටපු සුපිරි ක්‍රිකට් නායකයෙකු වන ග්‍රෑම් ස්මිත් පත් කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.
newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්