ගල්කිස්ස ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අඹුසැමි යුවලක් ඊයේ රාත්‍රියේ ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 27 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අඹුසැමි යුවළ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඩුබායි වෙත පළායාමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් මත ගල්කිස්ස පොලිසිය ගුවන් තොටුපළ පොලිසියට ඒ බව දැනුම් දී තිබුණි.

ඒ අනුව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව තාවකාලික විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

පොලිසිය පැවසුවේ සැකකරුවන් ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-653 දරණ ගුවන් යානයට ගොඩවීමට ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.

31 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි කාන්තාව කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාරදී තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්